Spread the love

ගොවි ජනතා කැමැත්ත පරිදි ගොවි විශ්‍රාම වැටුප බැංකුවකින් හෝ තැපැල් කාර්යාලයෙන් ලබා ගැනීමට පහසුකම් සළසන බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.


අමරවීර මහතා එසේ පැවසුවේ ගොවි ජනතාවගේම ඉල්ලීම කට සහසුකම් සළසා දීමට පියවර ගැනීමක් ලෙසය.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ගොවි ජනතාව සඳහා මාසිකව පිරිනමන ගොවි විශ්‍රාම වැටුප මෙතෙක් ලබා දීම දිවයිනේ සියලුම තැපැල් කාර්යාල මගින් සිදු කෙරිනි.

එහෙත් ගොවි සංවිධාන නියෝජිතයින් ගොවි විශ්‍රාම වැටුප තැපැල් කාර්යාලවලින් නොව බැංකු මගින් ලබා දීමට පියවර ගන්නා ලෙස ඉල්ලීමක් කළේය. එයට හේතුව බැංකුව වෙතින් ඊට සුළු පොලියක් හෝ ලැබීම මෙන්ම තැපැල් කාර්යාලයෙන් දින 06ක් තුළ එම වැටුප ලබා නොගතහොත් මුදල් ආපසු යන බැවිනි. බොහෝ ගොවීන් වියපත්ව සිටින නිසා සතියක් දෙකක් රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට සිදු වුවහොත් එම විශ්‍රාම වැටුප තමන්ට ලබා ගැනීමට නොහැකි වන බව ද ඔවුහු පෙන්වා දුන්හ.

එහෙත් බැංකු මගින් ලබා ගැනීමේ දී එවැනි තත්ත්වයක් උද්ගත නොවන බව ද ගොවි ජන නියෝජිතයෝ පෙන්වා දුන්හ.

එසේම තවත් පිරිසක ගේ ඉල්ලීම වුයේ ගොවින් වැඩි පිරිසක් ගැමියන් වන බැවින් කාර්ඩ්පත් යොදා ගනිමින් කටයුතු කිරීම ඔවුන්ට නොහැකි නිසා තැපැල් කාර්යාල මගින් ද ලබා දෙන ලෙසයි.

මෙම ගොවි ජන ඉල්ලීම් දෙකම සළකා බලමින් ගොවි ජනතාවගේ කැමැත්ත මත ඔවුන්ට ගොවි විශ්‍රාම වැටුප බැංකුවකින් හෝ තැපැල් කාර්යාල මගින් ලබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය කටයුතු යොදන ලෙස කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අ මරවීර මහතා කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාට අද දින (03) උපදෙස් දුන්නේය.