Spread the love


වී අලෙවි මණ්ඩලය 2016න් පසු ඇතැම් කන්නවල වී ඇටයක්වත් මිල දී ගෙන නැතැයි යැයි කෘෂිකර්ම හා වනසම්පත් සංරක්ෂණ ඇමති මහින්ද අමරවිර මහතා පවසයි.

වී අලෙවි මණ්ඩලය 2016න් පසු සමහර යල කන්නවල දී වී මෙට්‍රික් ටොන් 3000කට වඩා වැඩිපුර වී මිල දී ගෙන නැහැ. සාමාන්‍යයෙන් යල කන්නයේ දී මිල දී ගෙන තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් 2000-3000ත් අතර ප්‍රමාණයක්. නමුත් 2022 යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 7000 ඉක්මවා වී මිල දී ගන්නට හැකිවුනා.
වසර පහක දත්ත සොයා බැලුවා. ඒ අනුව 2016- 17 යල හා මහ කන්න දෙකේම වී ඇටයක්වත් මිල දී ගෙන නැහැ. 2018 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 2082 මිල දී ගත්තත් 2019 යල කන්නයේ වී මිල දී ගෙන නැහැ. ඒ වගේම 2020 යල කන්නයේ වී මෙට්‍රික් ටොන් 3082ක් මිල දී ගෙන තිබෙනවා. ගොවීන් විසින් වගා කරන වී වලින් සියයට සියයක්ම වී අලෙවි මණ්ඩලය මිල දී ගන්නේ නැහැ. සමස්ත වී අස්වැන්නෙන් සියයට 02- 10ත් අතර ප්‍රමාණයක් තමයි වී අලෙවි මණ්ඩලය විසින් මිල දී ගෙන තිබෙන්නේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අදාල රාජ්‍ය බැංකු දෙක රුපියල් බිලියන දෙකක ණය මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබා දුන්නා නම් අඩු තරමින් මෙට්‍රික් ටොන් 30,000ක් මිල දී ගැනීමට අපි සැලසුම් කර තිබුනා . වී මිල දී ගැනීම සඳහා අපි වැය කළේ වී අලෙවි මණ්ඩලය සතු මුදල්. නමුත් හෙට දිනයේ හෝ අපිට මුදල් ලබා දෙන්නේ නම් අපි නැවතත් වී මිල දී ගැනීමට සූදානම් යැයි කෘෂිකර්ම, හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ ( 19) අම්බලන්තොට බීජ වී ගොවිපොළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පැවැති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

මෙම මස 22 දින ලංකා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ නැවත වී මිල දී ගැනීම සඳහා මුදල් ලබා දීම සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වෙනවා. බොහෝ දුරට එහි දී වී අලෙවි මණ්ඩලය මගින් වී මිල දී ගැනීම සඳහා සිදු කෙරෙන සාකච්ඡා සාර්ථක වේයැයි සිතනවා. අමාත්‍ය මණ්ඩලය අනුමත කළ පරිදි වී මිල දී ගැනීමට රුපියල් මිලියන 2000ක මුදලක් අපිට ලැබුනහොත් නැවතත් වී මිල දී ගැනීම අප විසින් ආරම්භ කරනවා.