Spread the love

එළඹෙන මහ කන්නයේ දී වී වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන හිඟයකින් තොරව සැපයීමේ වගකීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරූ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි..

ජාතික ගොවි සමුළුවේ නියෝජිතයින් සමග අමාත්‍යවරයා ඉදිරි මහ කන්නයේ වී වගා කටයුතු පිළිබඳව ඊයේ සාකච්ඡා කළ අවස්ථාවේ මේ බව පැවසුවේය.

ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති ආහාර සුරක්ෂිතතා කමිටු රැස්වීමේ දී මහ කන්නයේ වී වගාවට අවශ්‍ය ඉන්ධන ගොවි ජනතාවට හිඟයකින් තොරව සැපයීම සඳහා ජනාධිපතිතුමන් විශේෂ වැඩ පිළිවෙළක් යෝජනා කරනු ලැබීය. ඒ අනුව ඒ ඒ දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව විශේෂ නිලධාරියෙක් පත් කරන බවත්, සියලු දිස්ත්‍රික් ලේකම්වරු විසින් ඊට අවශ්‍ය පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

සියලු ගොවීන් තමන්ට වී වගාවට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමේ දී යම් ගැටළුවක් පවතින්නේ නම් දිස්ත්‍රික් ලේකම්වරයා සමග සාකච්ඡා කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. එමෙන්ම දැනට භූමිතෙල් පිළිබඳ ගැටළුවක් ඇතත් මෙම මස 20දායින් පසුව එම ගැටළුව විසඳීමට කටයුතු යොදා ඇතැයි ද මෙහිදී සඳහන් කළේය.