Spread the love

වෙඩි බෙහෙත්, ජීව පතොරම් ඇතුළු ආයුධ රැසක් සමග පුද්ගලයින් දෙදෙනෙකු වැලිගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, විශේෂ කාර්ය බළකායේ දෙණියාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවය.

එහිදී සැකකරුවන් සතුව තිබී ජීව උණ්ඩ  04ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 14ක පමණ ප්‍රමාණයක් සහ කඩු ඇතුළු ආයුධ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 43 හා 50 යන වයස්වල පසුවන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්ය.

ඔවුන් අද (27) වැලිගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.

මේ අතර කොල්ලකෑම් සඳහා අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පෑලියගොඩ – සේදවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (26) පස්වරුවේ කැලණිය කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ කැලණිය පොලිස් ස්ථානයට වාර්ථා වී තිබූ කොල්ලකෑම් සඳහා එම සැකකරු අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බවය. 

ඔහු සතුව තිබී ජීව අත්බෝම්බයක්, කොල්ලකෑම්වලට උපයෝගීකර ගන්නා කඩුවක්, හෙරොයින් ග්‍රෑම් 7යි මිලිග්‍රෑම් 840 ක් සොයාගෙන ඇත.

එම ආයුධ පෑලියගොඩ පොලිස්ථානයට ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.