Spread the love

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගී කර ගනිමින් ඊයේ (12) දිනයේ සිට වෙළෙඳ පොළ අවශ්‍යතාව පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ආරම්භ කළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ අනුව ඊයේ දිනය තුළ පමණක් සතොස සඳහා සහල් මෙට්‍රික් ටොන් 500ක් සපයනු ලැබ තිබේ. . ඒ වගේම ජූනි මාසයේ ඉදිරි දින කිහිපයට සහල් මෙට්‍රික් ටොන් 2400ක් සැපයීමට කටයුතු යොදා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (12) සූරියවැව ප්‍රදේශයේ පැවැති වැඩ සටහනකට සහභාගි වෙමිනි. අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ස්වයංරැකියා සඳහා අවශ්‍ය උපකරණ කට්ටල කිහිපයක් ලබා දීම අමාත්‍යවරයා අතින් සිදු කෙරිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා-

රටේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය යොදා ගනිමින් ඇතැම් ව්‍යාපාරිකයින් හා ජාවාරම්කරුවන් මහජනතාව අසීරුතාවයට පත් කරමින් අනිසි ලාබ අපේක්ෂාවෙන් කටයුතු කරනවා. වෙළෙඳ පොලේ සහල් හිඟයක් ඇතිවීමට කිසිදු හේතුවක් නැහැ. පසුගිය මහ කන්නයේ වී අස්වැන්න තවත් ඉදිරි මාස හතරකට ප්‍රමාණවත්. ඒ වගේම යල කන්නයේ වී වගා කළ කුඹුරු ප්‍රමාණය මේ වනවිට සියයට 90ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් සති දෙකකින් පමණ අම්පාර දිස්ත්‍රික්කයේ වී අස්වනු නෙලනවා. ඒ වගේම දැනට වගා කර ඇති කුඹුරුවලට යුරියා පොහොර ලබා දීමටත් අපි කටයුතු කර තිබෙනවා.

ඒ නිසා යල කන්නයේ අපි ජූනි මාසයේ මුල් සතිය වනවිට අපේක්ෂිත වී අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් මෙවර ලබා ගැනීමට හැකි වෙනවා. ජූනි මාසය මුල් සතියේ මේ රටේ වී වගා කර තිබුනේ හෙක්ටෙයාර් 2,77,000ක් පමණ. නමුත් දැන් එම ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 05කට ආසන්නයි. පොහොර නොමිලයේ ලබා දුන්න කාලයටත් වඩා මෙවර යල කන්නයේ වී වගා ඉඩම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා සහල් හිඟයක් ඇති වේයැයි අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ. අනික් කාරණය තමයි වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග සහල් බවට පත් කර සතොස ඇතුළු වෙළෙඳසැල් ජාලය මගින් මහජනතාවට සහල් නිකුත් කිරීම අපි ආරම්භ කළා. ඊයේ දිනය (12) තුළම අපි විශාල සහල් ප්‍රමාණයක් සතොසට නිකුත් කිරීමට කටයුතු කළා.

ඒ වගේම අපේ වී ලබා ගන්නා සහල් මෝල් හිමියන් පළමුව ඔවුන් සතු වී තොග සහල් වශයෙන් වෙළෙද පොළට යවනවාද යන්න සොයා බලන ලෙස මම වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නා. රටේ ජනතාව පීඩාවට පත් ව සිටින අවස්ථාවක ඉන් අයුතු ලාබ ලැබීමට ව්‍යාපාරිකයින් කටයුතු නොකළ යුතුයි.

රටට අවශ්‍ය තරම් සහල් නිපදවීමට අවශ්‍ය වී තොග රජය සතුවත්, පුද්ගලික අංශය සතුවත් තිබෙනවා. ඒ නිසා සහල් හිඟ තත්ත්වයක් ඇති වේයැයි අනියත බියක් ඇති කර ගත යුතු නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.