ශ්‍රී ලංකාව ආකර්ශනීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල සමග ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිලිවෙලක් සැකසෙයි. විදේශ කටයුතු අමාත්‍යංශය, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍යංශය හා සංචාරක අමාත්‍යංශය ඒකාබද්ධව එය ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් ගෙන්වා ගැනීම වැඩසටහනේ අරමුණයි.
මීට අදාල විශේෂ සාකච්ඡාවක් ඊයේ (01) විදේශ කටයුතු අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග, විදේශ සබඳතා රාජ්‍ය අමාත්‍ය තාරකා බාලසූරිය හා විදේශ කටයුතු,සංචාරක යන අමාත්‍යංශ ඉහලපෙලේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැති
මෙම සාකච්ඡාවට සියලුම විදේශ රටවල ශ්‍රී ලංකා තානාපතිවරු zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.
මෙම සාකච්ඡාවේදී ඒ ඒ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල වලට මේ මාසය තුල තමන් නියෝජනය කරන රටට ආවේණික පරිදි ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සැකසීමට විදේශ කටයුතු ඇමති මහචාර්ය ජී.එල්.පීරිස් මහතා උපදෙස් දුන්නේය. එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහ එම රටවල ශ්‍රී ලංකාව
ප්‍රවර්ධනය කිරීම සඳහා ඒ ඒ තානාපති කාර්යාල වල සේවයේ නියුතු නිලධාරියෙකු නම් කිරීමට ද තීරණය කෙරිණ. ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සඳහා මෙරට සංචාරක අමාත්‍යංශය හා සංචාරක සංවර්ධන අධිකාරිය සමග සම්බන්ධීකරණය ද එම නිලධාරියාට පැවරේ.
විදෙස් රටවල ශ්‍රී ලංකාව තානාපතිවරුන්ගේ මූලිකත්වයෙන් සැකසෙන මෙම ප්‍රවර්ධන ක්‍රියාකාරී සැලැස්ම පිලිබඳ ජනවාරි මාසයේදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා දිනවකවානු යොදා ගැනීමට ද මෙහිදී තීරණය කෙරිණ.
මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යංශයේ අතිරේක ලේකම් දීපා සන්නසූරිය,සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු,සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කලමනාකරණ අධ්‍යක්ෂ පද්මා වනිගසේකර යන මහත්ම මහත්මීහුද එක්ව සිටියහ.
