Spread the love



ශ්‍රී ලංකාව පිහිටා ඇති තට්ටු තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කරති.
ශ්‍රී ලංකාව හා භූකම්පන අවදානම සම්බන්ධව අද දින (23) භු විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් විශේෂ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් වරින්වර ඇති වූ සුළු භූ කම්පන තත්ත්වයන් නිසා ඉදිරියේ දී අප රට තුළ විශාල ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇති වීමට හැකියාවක් තිබේද යන්න සම්බන්ධව කරුණු පැහැදිළි කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විනි.
ඊට අප රටේ භු විද්‍යාව පිළිබඳ ඉහළ දැනුමක් ඇති ආචාර්ය මහාචාර්යවරු රැසක් සහභාගි වූහ. මහාචාර්ය අතුල සේනාරත්න, මහාචාර්ය එල්. ආර්. කේ. පෙරේරා, ආචාර්ය එන්. පී. විජයානන්ද, ආචාර්ය බර්නාඩ් ප්‍රේම් මහතා මෙන්ම ඕස්ට්‍රේලියාවේ වෙසෙන බන්දුල කන්දරගම මහතා ද ඊට සහභාගි වූහ. GSMB සභාපති අනුර වල්පොල මහතා මෙම වැඩ සටහන මෙහෙයවනු ලැබීය.
මෙහිදී අදහස් පළ කළ සියලු ආචාර්ය මහාචාර්යවරු අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව පිහිටා තිබෙන්නේ ඉන්දු- ඕස්ට්‍රේලියානු තට්ටුතලයේ මධ්‍යයට ආසන්නව නිසා සුළු සුළු භූකම්පන තත්ත්වයන් ඇතිවිය හැකි වුවත් විශාල පරිමානයේ භූකම්පනයක් ඇතිවිමට ඇති හැකියාව ඉතාමත් අල්ප බවයි.
දැනට සිදුව තිබෙන සියලු භූමිකම්පාවලින් සියයට 98ක්ම සිදුව තිබෙන්නේ තට්ටුතල මායිම් ආශ්‍රිතවය. තට්ටුතල මායිම්වලින් බැහැරව සිදුවන භූමිකම්පන ප්‍රමාණය සියයට 02කි. එමනිසා අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නැති වුවත් භූමිකම්පා වලින් ආරක්ෂාවීම සඳහා ගත හැකි තාක්ෂණික පියවර ගැනීම සුදුසු බව ද ඔවුන් සඳහන් කළේය.
දැනට මහකනදරාව, පල්ලෙකැළේ හා හක්මණ හා බුද්ධංගල භු කම්පන මධ්‍යස්ථාන 04ක් පිහිටුවා ඇති අතර ඉදිරියේ දී බස්නාහිර හා වයඹ පළාත තුළ තවත් දෙකක් ස්ථාපිත කිරීමට යෝජිතය.ඒ අනුව භු කම්පන සම්බන්ධව සාර්ථක දත්ත එක්රැස් කර ගැනීමක් තවදුරටත් සිදු කළ හැකිවේයැයි GSMB සභාපති අනුර වල්පොල මහතා පැවැසීය.
පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පත් කරන ලද කමිටුවේ නිර්දේශ පරිදි දැනටමත් වික්ටෝරියා ජලාශය අවට ක්ෂුද්‍ර කම්පන ඒකක 10ක් ස්ථාපිත කරන ලදැයි ද හෙතෙම අවධාරණය කළේය.
මෙහිදී අදහස් පළ කළ භූ විද්‍යාඥ අජිත් ප්‍රේම මහතා භූකම්පනයක් ඇතිවීමට බලපාන කරුණු මෙන්ම අපේ රටට ඇති භූ කම්පන අවදානම සම්බන්ධව කරුණු දැක්වීය. .
එමෙන්ම දැනට GSMB ආයතනය විසින් ලොවපුරා සිදුවන පිළිබඳ භු කම්පන දත්ත එක්රැස් කරන බවත් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ තම ආයතනය සතු බවත් භූකම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන මහත්මිය ප්‍රකාශ කළාය.