Spread the love


රටේ පුරවැසියාට බරක් නොවන අයුරින් ආයුර්වේද ප්‍රතිකාර මුලික කරගත් විදේශීය විනිමය උපයාගැනීමේ වැඩපිළිවෙළක් සැකසීම තුළින් ආර්ථීක උත්පාදනයන් ඇති කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
ලොව බොහෝ රටවල් සංචාරක ක්ෂේත්‍රය මෙන්ම දේශීය ආයුර්වේද ක්‍රම භාවිතා කරමින් ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සේවාවන් හරහා විශාල විදේශීය විනිමයන් උපයා ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.
රුපියල් මිලියන 1,906 ක වියදමින් ඉදිකල බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ 08 මහල් වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලදි.
මෙරට ප්‍රධානතම ආයුර්වේද ජාතික රෝහල වන බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව ඉදිකිරීම් නිසාවෙන් රෝගීන් 360 දෙනෙකු සදහා නේවාසික පහසුකම් ලබාගත හැක. නේවාසික වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අද (24) සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
2008 වසරේ දී එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආයුර්වේද රෝහල් පද්ධතිය නවීනත්වයට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමේ වැඩපිළීවෙල යටතේ බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහල අදියර 03 ක යටතේ සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “වර්තමානයේ තිබෙන නොයෙකුත් ප්‍රශ්න මධ්‍යයේ වුවත් මෙවැනි සංවර්ධන වැඩපිළිවෙල රට තුල ක්‍රියාත්මක කෙරෙනවා. කුමන බාධා පැමිණියක් එම සංවර්ධන වැඩපිළිවෙල අඛණ්ඩවම ඉදිරියට ගෙනයාමට රජය කැපවී සිටිනවා. මෙම සංවර්ධන ව්‍යාපෘතියද එයට කදිම උදාහරණයකි. වර්තමානයේ බොහෝ දෙනා කතා කරන්නේ නොකෙරෙන දේවල් සහ රටේ තිබෙන විවිධ ප්‍රශ්ණ සම්බන්ධවයි. අප කළ යුතු දේවල්, කළ හැකි දේවල් කිසිදු අයුරකින් අතපසු කරන්නේ නැහැ.”

“අපි අළුත් ආර්ථීක මංමාවත් සෙවිමට අවශ්‍යයයි. නිදහස් අධ්‍යාපනයෙන් සහ නිදහස් සෞඛ්‍යයෙන් මේ රටේ ජනතාව සහන රැසක් භූක්තිවින්දා. පිළිකාව, වකුගඩු රෝග ආදිය සුව කිරිම සදහා රජය විශාල මුදලක් වැය කරනවා. ඒ අතර තුර අප බැලිය යුතු එක් අංශයක් ලෙස ආයුර්වේද සංචාරක සෞඛ්‍යය වැඩපිළිවෙළ පෙන්වා දිය හැකියි. 1983 කළු ජුලිය සමග ඇති වූ සංචාරක අවපාතයේ දී විශාල මුදලක් වියදම් කළ හොටල් ක්ෂේත්‍රය කඩා වැටුණා. ඒ අවස්ථාවේ කඩා නොවැටුණ එක් අංශයක් හැටියට ආයුර්වේද වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ හෝටල් පෙන්වා දිය හැකියි. එම හෝටල් විශාල ලාභ ලබන ආයතන බවට පත් වුණා. සිංගප්පූරුව ගිය වසරේ සංචාරක සෞඛ්‍ය තුළින් උපයා ඇති මුදල ඩොලර් බිලියන 5.5 ක්. ලංකාවට ආවේණිකව තිබෙන මේ ශක්තිය, ආයුර්වේද වැඩපිළිවෙල අද වන විට නවීකරණය වී තිබෙන නිසා ඉතාම විද්‍යාත්මක පදනමක් තුල එය වර්ධනය වන යුගයක අප ඒ පිළිබද අවධානය යොමු කළ යුතු වෙනවා. මෙහි ගෙවන වාට්ටු ඉතා වැදගත් වෙනවා. රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරනවා වගේම ඒ හරහා මෙරට පුරවැසියාට බරක් නොවන අයුරින් යම් ආර්ථීක උත්පාදනයක් ඇති කරන්නට හැකි නම් අපිට මෙයට වඩා ඉදිරියට යා හැකියි. එය මෙයට සම්බන්ධ කර ගතහොත් හැමදේම රජයෙන් ලබාගන්නා ක්‍රමවේදයෙන් බැහැරව යම් මට්ටමකට හෝ සහනයක් ලබාගනිමින් ස්වාධීනව ආයතනයක් ලෙස ඉදිරියට ගෙන යාමේ හැකියාව තිබෙනවා.”
“ආයුර්වේදය යනු ජාතික අවශ්‍යතාවයක්. ග්‍රාම සේවා වසම් කිහිපයක් එකට එක් කර මධ්‍යස්ථානයක් පිහිටවිය යුතුයි කියා මා යෝජනා කළා. විශාල ජනතාවකට එමගින් සේවාවන් ලබාදිය හැකියි. ජනතාව විශාල ලෙස ආයුර්වේද ප්‍රතිකාර සේවාවන් සදහා ද යොමු වෙනවා. ඒ තුළින් විවිධ අංශ වලින් විශාල ලෙස ප්‍රතිලාභ ලබාගත හැකිය.”
මේ තිබෙන තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාවගේ සිතුම් පැතුම් සමගින් ද කටයුතු කළ යුතු බැවින් උත්සව සියල්ල සීමා කර කටයුතු කිරීම වැදගත් බව ද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.