Spread the love


නිමල් රාජපක්ෂ-


මෙරටට පැමිණෙන සංචාරකයිනට හිරිහැර වන අයුරින් නොයෙක් අක්‍රමිකතා සිදු කරන පුද්ගලයිනට විරුද්ධව රුපියල් ලක්ෂයක (100000) දඩයක් අයකරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
සංචාරක සමය එලඹීමත් සමඟ ශ්‍රී ලංකාවට පැමි‍ණෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වී ඇති අතර, පැමිණෙන සංචාරකයින්ගෙන් විවිධ පැමිණිලි හා මැසිවිලි ද තමාට ලැබී ඇති බවයිි.
ලොව බොහෝ ගුවන්තොටුපලවල තිබෙන අචාරශීලි බව හා සුහද බව කටුනායක ගුවන්තොටුපලේ නැති බවත් විශේෂයෙන් ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරව්කරුවන් විවිධ අක්‍රමිකතාවයන් වල නියැලෙන බවට පැමිණිලි ලැබී ඇති බව අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු හෙලිකලේ කටුනායක ගුවන්තොටුපලේ පවතින තදබදය සහ ලැබී ඇති පැමිණිලි විසඳීම සඳහා ගුවන්තොටුපල බලධාරීන් සමඟඅද ( 28) පෙරවරුවේ පැවති සාකච්චාවකදීය.
මෙම සාකච්චාවේදී ගන්නා ලද තීරණය අනුව : මෙවැනි අක්‍රමිකතාවන් වල යෙදී හසුවන අයට දැනට පනවා ඇති රුපියල් 25,000 දඩය රුපියල් 10.0000 දක්වා වැඩි කිරීමටත්, මෙවැනි ක්‍රියාවන්හි නියැලෙන්නන් හසුකර ගැනීමට සිවිල් ආරාක්‍ෂක කණ්ඩායමක් යෙදවීමටත්, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පුළුල් කිරීමටත්, මෙම පැමිණිලි භාරගැනීමටත්,ක්‍ෂනිකව ක්‍රියාත්මක වීමටත්, විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමට , තීරණය කලේය.
එබැවින් ගුවන්තොටුපල තුළ හා අවට පරිශ්‍රයතුල අක්‍රමිකතාවයන් සිදු කරනු ලබන ඕනෑම අයෙකුට විරුද්ධව දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට සහ නිලධාරීන්ට නියෝග කලේය.
එමෙන්ම ශ්‍රී ලංකාවට නම්බුවක් හා ආඩම්බරයක් ගෙන දෙන ආකාරයට ආචාරශීලීව ගුවන්තොටුපල තුල හැසිරෙන ලෙසත් විශේෂයෙන් ටැක්සි රියදුරන්ගෙන් සහ ගමන්මලු ඔසවන්නන්ගෙන් ඉල්ලීමක්ද කලේය.
මෙම සාකච්චාවට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ නිලධාරීන්ද ගුවන්තොටුපල සහ ගුවන්සේවා සමාගමේ නිලධාරීන්, සංචාරක මණ්ඩලයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.