Spread the love



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සර්ව පාක්ෂික සමුළුවක් කැඳවන ලෙස කළ ඉල්ලීම ට අනුව මෙම මස 23 දින සර්ව පාක්ෂික සමූළුවක් කැඳවීමට ජනාධිපතිතුමන් තීරණය කර ඇතැයි පරිසර අමති මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද දින (09) පරිසර අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
අපි ජනාධීපතිතුමා සමග කළ සාකච්ඡාවේ දී යෝජනා 15ක් ඉදිරිපත් කළා. ඒ එක යෝජනාවක්වත් අපේ පක්ෂය ගොඩනැගීම හෝ අපිට වරප්‍රසාද ලබා ගැනීමට ඉදිරිපත් කළ ඒවා නොවෙයි. අපි යෝජනා කළේ රටට හා මහජනතාවට බලපා ඇති ප්‍රශ්න සම්බන්ධව විසඳුම් ලබා දීම කඩිනම් කිරීමේ වැඩ පිළිවෙළක්. මෙම වැඩ පිළිවෙළ තුළ ගැටළු පමණක් නොවෙයි ඊට විසඳුම් ලබා දෙන ආකාරයත් අපි යෝජනා කළා.
අපේ යෝජනාවලිය සම්බන්ධව ජනාධිපතිතුමාත්, අගමැතිතුමාත්, මුදල් අමාත්‍යතුමාත් ඉතාමත් සතුටට පත් වුනා.
ඒ වගේම තමයි හැම පක්ෂයකටම රටේ ඇති ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් කිරීමේ වගකීමක් තිබෙනවා. ඒ අනුව මෙම සර්වපාක්ෂික සමුළුවේ දී ඒ හැම කෙනෙකුටම තමන් හෝ තම පක්ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකියි.
අද රටේ තිබෙන මුලික ප්‍රශ්න දෙස බලන විට ගෑස්, ඉන්ධන හා විදුලි බලය පිළිබඳ ගැටළුව මහජනතාවට දැඩිව බලපාතිබෙනවා. ඒ සම්බන්ධව විසඳුම් රජය විසින් ලබා දිය යුතුයි. සර්වපාක්ෂික සමුළුවේ දී ඉදිරිපත් වන කරුණු පිළිබඳව රජයට නොසළකා හැර සිටිය නොහැකියි. එහෙම වුනොත් එහි ප්‍රතිපලයත් ඒ වගේම වේවි.
ආණ්ඩුවේ සමහරු කියනවා ගම්මන්පිළ, විමල් වීරවංශ මහත්වරු ගියාට කමක් නැහැ කියළා. අපි කියන්නේ එහෙම කියන එක වැරදියි. ඒ දෙන්නා මේ රජය පිහිටුවන්න විශාල වැඩ කොටසක් කළා. අපි ඒ ගැනත් විමසීමක් කළා. ජනාධිපතිතුමන් අපිට කිව්වේ ඒ තීරණය සම්බන්ධව එතුමනුත් කණගාටුව වන බවත්, නමුත් ඒ වෙලාවේ එම තීරණය ගැනීමට සිදු වු ප්‍රකාශ කළා.