නිමල් රාජපක්ෂ-
යල කන්නයේ දී සියලුම ගොවීන්ට වගා කටයුතු සඳහා ආධාර මුදලක් ගොවි ගිණුම්වලට බැර කිරීමට හෝ වවුචරයක් වශයෙන් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දඅමරවීර මහතා පවසයි.
මේ සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග තමන් සාකච්ඡා කළ බවත්, එහි දී ජනාධිපතිතුමා ඒ සදහා එකඟත්වය පළ කරන ලද බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ගොවි ජනතාවගේ නිෂ්පාදන වියදම් අවම කිරීමේ අරමුණින් මෙම මුල්‍ය සහනාධාරය පිරිනැමීමට රජය පියවර ගෙන තිබේ.
අප්‍රේල් මස 02 දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින්වහන්සේ අභිමුවෙහි පැවැත්වෙන අලුත් සහල් මංගල්‍යය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවගෙන් සහල් එක්රැස් කිරීම අද දින (25) ලුනම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ දී සිදු කළ අතර ඊට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
මෙවර යල කන්නයේ දී මඩ පොහොර නොමිලයේ ලබා දීමට පියවර ගත්තාක් මෙන් දැනට රුපියල් 10,000කට අලෙවි කරන යුරියා පොහොර මිටියක මිල අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි තව දුරටත් අඩු කිරීමට ද රජය තීරණය කර ඇත.
එමෙන්ම මහ කන්නයේ දී රුපියල් 19,500කට අලෙවි කළ බණ්ඩි පොහොර මිටියක් තවත් සැළකිය යුතු මුදලකින් මිල අඩු කිරීමට ද කටයුතු යොදන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.