ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එකකට දේශපාලනඥයින් එකග වුවත් ඇතැම් රාජ්‍ය නිළධාරීන් ඊට කැමති නැති බැවින් එම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණය රටට වාසිදායක ලෙස පවත්වා ගෙන යාමේ වගකීම ඇතැම් රාජ්‍ය නිළධාරීන් පැහැර හරින බවයි.
ඉදිකිරීම් ක්ෂේත්රයේ සිටින නිපුණ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන වසර 5ක් යනතුරු ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ඇමතිවරයා මෙහිදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නිළධාරීන්ට චෝදනා කළේය.
“අමාත්‍යංශයක ෆයිල් එකක් ඉල්ලුවම ලේකම්වරයා හරහා අමාත්‍යවරයා ගාවට එන්න මාස ගාණක් යනවා. ඒකතමයි ඇත්ත. රාජ්‍ය ආයතනවල ඉන්න ට්‍රෙෂරි නිළධාරීන් සිටිනවා. ඒ නිළධාරීන් හරියට වැඩ කළානම් ආයතන කඩා වැටෙන්නේ නැතැයිද” ඇමතිවරයා සඳහන් කළේය.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ඉදිකිරීම් ක්ෂේත්රයේ නිපුණතාවය සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සදහා ශිල්පි හැදුනුම්පත් නිකුත්
කිරීමේ අවස්ථාවට පසුගියදා (10) සහභාගි වෙමිනි. මෙම උත්සවය කොළඹ 07, සව්සිරිපායේ පිහිටි ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීමට අදාළ වෙබ් පිටුව එළිදැක්වීමද ඔහුගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු පාර්ශවකරුවන් වන කොන්ත්‍රාත්කරුවන්, දේපළ සංවර්ධනකරුවන්, ඉදිකිරීම් ද්‍රව්‍ය හා උපාංග සැපයුම්කරුවන් හා නිපුණ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වගකීමකි.
2014 අංක 33 දරණ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතට අනුව මෙම වැඩසටහන මගින් නිපුණ ඉදිකිරීම් ශ්‍රමිකයින්ගේ දැනුම, කුසලතා හා ආකල්ප පරීක්ෂා කර ලියාපදිංචි කිරීම, ශිල්පි හැදුනුම්පත් නිකුත් කිරීම හා ඔවුන්ගේ තොරතුරු දත්ත ගබඩාවක් පවත්වා ගෙන යාම සිදු කෙරේ. දේශීය සහ විදේශීය ඉදිකිරීම් ක්ෂේත්‍ර වලට අවශ්‍ය ඉදිකිරීම් ශ්‍රමිකයින් සවිබල ගැන්වීම මෙහි අරමුණයි.
මෙහි ලියාපදිංචි වන ඉදිකිරීම් ශ්‍රමිකයින් මූලික වශයෙන් ක්ෂේත්‍ර 25 ක් යටතේ වර්ගීකරණය කෙරේ. ‘ප්‍රධාන ඉදිකිරීම් ශ්‍රමිකයින්’ සහ ‘ඉදිකිරීම් ශ්‍රමිකයින්’ ලෙස කාණ්ඩ 2 ක් යටතේ ඔවුන් සදහා ශිල්පීය හැදුනුම්පත් ලබා දීම ඒ යටතේ සිදුවෙයි. ‘ප්‍රධාන ඉදිකිරීම් ශිල්පි’ කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ – 4 මට්ටම හා වසරක පළපුරුද්ද අවශ්‍ය වේ. ‘ඉදිකිරීම් ශිල්පි’ කාණ්ඩයේ හැදුනුම්පත ලබා දීමේදී NVQ – 3 මට්ටම හා මාස 6 ක පළපුරුද්ද අවශ්‍ය වේ.
නිපුණ ශ්‍රමිකයෙකු ලෙස ලියාපදිංචි වීමෙන් අනතුරුව ගෝලීය අවශ්‍යතාවයට අනුකූලව සවිබල ගැන්වීම තුළින් ඔවුන්ට දේශීය හා විදේශීය රැකියා අවස්ථා සදහා යොමු වීමේ හැකියාව පවතී. එමෙන්ම වඩා ළුලදායි හා ගුණාත්මක නිපුණ ශ්‍රම බලකායක කොටස්කරුවෙකු වීමේ අවස්ථාව සහ වෘත්තීමය ප්‍රමිතිය වැඩි දියුණු කර ගැනීමටද මෙම වැඩසටහන මගින් අවස්ථාව උදා වේ.
මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරුන් වන අරුන්දික ප්‍රනාන්දු හා තේනුක විදානගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් රත්නායක, අතිරේක ලේකම් අනිල් විජේසිරි, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති සොහාන් විජේසේකර, එහි අධ්යක්ෂ ජනරාල් සංජීව ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වුහ.