Spread the love

2022 වසරේ සුරකිමු ගංගා වැඩ සටහන සඳහා රුපියල් මිලියන 2000ක මුදලක් රජය මගින් ලබාදී තිබෙන බැවින් පළමු මාස තුන ඇතුළත රුපියල් මිලියන 500ක ව්‍යාපෘති ආරම්භ කරන ලෙස පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් ලබාදී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (27) තංගල්ල ආසනයේ පෙර පාසැල් සඳහා ජලපෙරණ 75ක් පිරිනැමීමේ වැඩ සටහනකට සහභාගි වෙමිනි.
පානීය ජලගැටළුව අද උග්‍ර ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. මීට දශක කිහිපයකට පෙර අපි වැව්, ගංගා, ඇළදොළවලින් ගලා ගිය ජලය උණු නොකරම බිව්වා. නමුත් අද රටේ හැම තැනම පිරිසිදු කළ පානීය ජලය ලීටර ගණනට විකුණන තත්ත්වයක් ඇති වී තිබෙනවා. අපේ රටේ ජල සම්පතින් කිසිම අඩුවක් නෑ. නමුත් පානයට සුදුසු ජලය සොයා ගැනීමේ ගැටළුවක් තිබෙනවා.
අපේ රටේ ගංගා 103ක් තිබෙනවා. මේවායින් බහුතරයක ජලය දූෂිතයි. ගංගා පද්ධතිය දූෂණය කරන ස්ථාන 11,000කට ආසන්න ප්‍රමාණයක් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය හඳුනාගෙන තිබෙනවා. ඉන් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ කැළණී ගඟ ආශ්‍රිතවයි. අපේ රටේ දූෂිතම ගංගාව වන්නේ කැළණි ගඟයි. නිවැරදිව කියනවා නම් කැළණි ගඟේ ජලය පානයට නොවෙයි අඩු තරමින් ඇල්ලීමටවත් සුදුසු නැහැ. කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ජනතාවගෙන් සියයට 80ක් පමණ පානය කරන්නේ කැළණි ගඟේ ජලයයි.
ජලසම්පාදන මණ්ඩලය විසින් විශාල වියදමක් දරා එම ජලය පානයට සුදුසු පරිදි පිරිපහදු කර බෙදා හරිනවා. මේ නිසා අපේ සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ලබන වසරේ දී අපි වැඩිම ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේකැළණි ගඟ පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙළටයි. ලබන සතියේ මම නාවික හමුදාව සමග කැළණි ගඟේ ජලය අපවිත්‍ර කරන ස්ථාන සියල්ලම නිරීක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹනවා. මට තිබෙන තොරතුරු අනුව කැළණි ගඟේ ජලය අපවිත්‍ර කරන ස්ථාන 1700කට අධික ප්‍රමාණයක් ඇති බව තහවුරු වී තිබෙනවා.
කැළණි ගඟ අපවිත්‍රවීම සිදුව තිබෙන්නේ අවිස්සාවේල්ල සිට පෑලියගොඩ පාළම දක්වා තිබෙන ප්‍රදේශය තුළයි. එමනිසා මෙම කළාපය පරිසර සංවේදී කළාපයක් ලෙස නම් කිරීමටත්, ඒ වගේම එම ප්‍රදේශය තුළ ගඟට අයත් සංරක්ෂිත කළාපය සළකුණු කිරීමටත් පියවර ගන්නවා.
එහි අනවසර පදිංචි කරුවන් අපි වහාම ඉවත් කරන්නේ නැහැ. ඔවුන් සඳහා සුදුසු නිවාස යෝජනා ක්‍රමයක් නාගරික සංවර්ධන අධිකාරියේ සහයෝගය යටතේ ඉදි කරනවා. එතෙක් ඒ අයට අවශ්‍ය ස්ථිර වැසිකිළි පහසුකම් සකස් කර ගැනීමට 2021 වසරේ දී රුපියල් මිලියන 19ක් අපි වෙන් කළා. 2022 වසරේ දීත් අපි ඒ සඳහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරනවා.
ඒ වගේම 2022 වසර තුළ අපි මැණික් ගඟ හා වළවේ ගංගා දෙකත් සංරක්ෂණයට කටයුතු යොදා තිබෙනවා. මේ වනවිට සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ගංගා 103ම ආවරණය වන පරිදි ව්‍යාපෘති 60කට වඩා අපි අනුමත කළා. ඒවාට අවශ්‍ය මුදල් දැනටමත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ලබා දී අවසන් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.