
සුදු සීනි රුපියල් 122ක උපරිම සිල්ලර මිලට අලෙවි කිරීම සඳහා ඊට වඩා අඩු මිලකට සීනි තොග නොලැබීම නිසා රට තුළ සීනි හිගයක්ක් නිර්මාණය වී ඇතැයි වාර්තාවෙයි.
සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සැප්තැම්බර් 02 වනදා ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
එහිදී ආනයනකරු අලෙවි කළයුතු සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම තොග මිල දැක්වුණේ රුපියල් 116ක් ලෙසය.
කෙසේවෙතත් අද වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයක සුදු සීනි හිඟයක් පවතින බවත්, ඇතැම් වෙළෙඳසැල්වල පාලන මිල ඉක්මවා සුදු සීනි අලෙවි කරන බවත් දක්නට ලැබුණි.
ගාල්ලේ කරාපිටිය, ලබුදූව ඇතුළු ප්‍රදේශ රැසක ඇතැම් වෙළෙඳසැල්වල සුදු සීනි අලෙවි කෙරුණේ රුපියල් 135කටත් අධික මිලකටය.
හැටන්, ඇඹිලිපිටිය හා ඒ අවට ප්‍රදේශවල වෙළෙඳසැල්වල ද සීනි හිඟයක් දක්නට ලැබුණු අතර වෙළෙඳුන් චෝදනා කළේ තමන්ට සුදු සීනි තොග කිලෝග්‍රෑමයක් ලැබෙන්නේ රුපියල් 150කට බවය.
මෙවන් පසුබිමක තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ගේ එකමුතු වෙළෙඳ සංගමය අද කළුතරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළේ, ආනයනකරුවන් තමන්ට සීනි සපයන්නේ පාලන මිල ඉක්මවා බවය.