Spread the love


පවතින පැරණි කම්කරු නීති වෙනස් කොට ව්‍යාපාරික ලෝකයට ගැලපෙන පරිදි සේවකයන්ගේ යහපත උදෙසා ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගත යුතුව ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඒ අනුව වර්තමාන ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයින්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ට අදාල පැරණි සේවක නීති කාලීන තත්වයන්ට සකස් කිරීමට පියවර ගන්නා බවද වැඩි දුරටත් පැවසුවේය.
වි⁣ශේෂයෙන් සෞභාග්‍යයේ දැක්ම හි මඟ පෙන්වීම අනුව දැනට කිසිදු සමාජ ආරක්ෂණ ක්‍රමයකින් ආවරණය නොවන සියලු පුරවැසියන්ට තමන්ගේ ජීවිතයේ සැඳෑ සම⁣යේ දි ශක්තිමත් ආර්ථික පදනමක් සැකසීමට සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ වැඩ පිළිවෙළක් සැකසීම රජයේ වගකීමක් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ,සමස්ත ලංකා ජීවිත රක්ෂණ ඒජන්තවරුන්ගේ සංගමයේ නියෝජිතයන් පසුගියදා අමාත්‍යවරයා හමු වී තමන්ගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන් කිසියම් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව මෙරට රක්ෂණ සමාගම් ප්‍රධානින් සමඟ අමාත්‍යවරයා පසුගියදා කම්කරු අමාත්‍යාංශයේ පැවැත් වූ සාකච්ඡාවේදීය.
45,000 පමණ වන ජීවිත රක්ෂණ නියෝජිතයන් වෙනුවෙන් ද EPF හෝ ETF අරමුදල් ප්‍රතිලාභ ලබාදීම හෝ ඊට සමාන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඇති කිරීම රජයේ වගකීමකි. එම නිසා ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයින්ගේ පත්වීම්වලට අදාල නීති කාලීන තත්වයන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට පියවර ගත යුතුව ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙහි දී පෙන්වා දුන්නේය.
රක්ෂණ නියෝජිතයන් පමණක් නොව ජනමාධ්‍යවේදීන්,වඩු කාර්මිකයන්,පෙදරේරුවන්,ගෘහස්ථ සේවකයන් වැනි අවිධිමත් අංශයේ කම්කරුවන්ට ද එවැනි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් සැකසීමට අවශ්‍ය කටයුතු තමන් මේ වන විට ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා පැවසීය .
එහි දී අදහස් දැක්වූ රක්ෂණ සමාගම් ප්‍රධානීන් පෙන්වා දුන්නේ ,රක්ෂණ නියාමන කොමිසමේ නියමයන්ට අනුව ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්,කොමිස් පදනම මත කටයුතු කරන ස්වාධීන අය හෙයින් ඔවුන්ව සිය සමාගම්වල සේවකයන් ලෙස පිලි ගැනීමේ නීතිමය බාධකයක් පවතින බැවින් ඔවුන්ට අර්ථසාධක අරමුදල් ගෙවීමට හැකියාවක් නොමැති බවය.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ,ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයින්ගේ අනාගත ආර්ථික සුරක්ෂිතතාවය ඇති කරලීමට යම් නීතිමය බාධකයක් රක්ෂණ නියාමන කොමිසම පනවා සඳහන්ව ඇත්නම් කාලීන අවශ්‍යතා අනුව එ්වා වෙනස්විය යුතුයි. ඒ අනුව රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ ඊට අදාල නීති සංශෝධන තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමත කරගන්නා බව අමාත්‍යවරයා මෙහිදී රක්ෂණ සමාගම් ප්‍රධානීන්ට පැවසීය. රක්ෂණ සමාගම් අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයකි.එම රක්ෂණ ක්ෂේත්‍රයේ කොඳුනාරටිය වන ජීවිත රක්ෂණ නියෝජිතයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හෝ EPF/ETF අරමුදලට දායකවීමේ ක්‍රමයක් හෝ වෙනත් පෞද්ගලික අර්ථසාධක අරමුදල හෝ රක්ෂණ අරමුදලක් පිහිටුවීම කාලීන අවශ්‍යතාවයක් බව රක්ෂණ සමාගම් නියෝජිත ප්‍රධානින්ට අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය
දැනට මේ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින නඩුකරය කඩිනමින් අවසන් කිරීම සඳහා කම්කරු දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන්ට උපදෙස් දුන් අමාත්‍යවරයා, සාධාරණ කාලයක් තුළ ස්වකීය ස්ථාවරය තමා වෙත තමා ලිඛිතව දන්වන ලෙස අමාත්‍යවරයා මෙහි දී රක්ෂණ සමාගම් නියෝජිතයන් ගෙන් ඉල්ලා සිටියේය .
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතිඥ රාසීක් සරූක් මහතා,රක්ෂණ සමාගම් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉෆ්තිකා අහමඩ් මහතා ඇතුළු රක්ෂණ සමාගම් ප්‍රධානීන් ද අමාත්‍යංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ඇතුළු කම්කරු අමාත්‍යංශයේ නිලධාරීහු ද සහභාගී වූහ.