Spread the love

ගෝලීය ව්‍යසනය හමුවේ සමස්ත ලෝකයේම සෞඛ්‍ය අංශ එකම අභියෝගයක් බාර ගෙන කටයුතු කරන බවත් එම අභියෝගයේදී දුප්පත් ,පොහොසත් ,දියුණු, නොදියුණු රටවල් ලෙසින් බෙදා වෙන් කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙම දැවැන්ත අභියෝගය හමුවේ මෙරට කිසිදු අංශයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තනි නොකර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
තායිවානයේ ප්‍රධාන සංඝනායක නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති ශ්‍රී ලංකා ධර්ම චක්‍ර ලංකා පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමිපාණන් වහන්සේ විසින් රුපියල් කෝටි තුනකට ආසන්න වෛද්‍ය උපකරණ තොගයක් රෝහල් කරා පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව කීය.


එම විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේදී මෙම පරිත්‍යාග ලබාදීම ඊයේ (22) සිදුකෙරුණු අතර රෝහල් 35 ක් සඳහා පරිත්‍යාග ලබා දීම සිදුවේ.‍
එය සංකේතවත් කරමින් හොරණ,තෙලිජ්ජවිල,පේදුරුතුඩුව,මීරිගම,අගුණුකොළපැලැස්ස, අම්බලන්තොට යන මූලික රෝහල් මෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයකට පරිත්‍යාග ලබා දීම සිදු කෙරිණි.
නාහිමියන් වෙත තායිවානය ඇතුළු විදෙස් රටවලින් ලැබුණු පරිත්‍යාග ඔස්සේ මෙම රෝහල් උපකරණ ලබා දීම සිදුවිය.
වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙය සම්බන්ධීකරණය කළ අතර ගෝලීය කොවිඩ් ව්‍යසනය ආරම්භයේ සිට මේ දක්වා නාහිමියන් විසින් රුපියල් මිලියන 90ක පමණ පරිත්‍යාග සිදු කර ඇත.
ඊයේ ලබාදුන් පරිත්‍යාග අතර ඔක්සිජන් කන්සන්ට්‍රේටර් ,ඔක්සි මීටර්, අධෝරක්ත උෂ්ණත්වමාන,මුඛ ආවරණ ඇතුළු උපකරණ හා භාණ්ඩ වේ.
දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඒ ඒ රෝහල් සඳහා මෙම පරිත්‍යාග ලබා දීම සිදුවිය.
කොවිඩ් ව්‍යසනය හමුවේ රටේ අති බහුතරයක් එම ප්‍රශ්නය වෙනුවෙන් පුදුමාකාර කැපවීමකින් කටයුතු කරන්නේ යැයිද විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන්නන් තම දිවි පරදුවට තබා ඒ් උදෙසා සේවාව සපයන්නේ යැයිද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.


විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ද, නාගහනන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජගත් සුමතිපාල මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.