Spread the love



ගෝලීය කොවිඩ් ව්‍යසනය මැද මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා පද්ධතිය වඩාත් ශක්තිමත් කොට එමගින් ප්‍රාථමික,ද්විතීයික හා තෘතීයික රෝගී සත්කාර සේවා සැපයීම තවදුරටත් කඩිනම් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙවර ජාත්‍යන්තර රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් අද (17) පැවති ජාතික උත්සවයේදී අමාත්‍යවරයා මේ බව කීය. මෙම සැමරුම් උත්සවය කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය ආරක්ෂණ, ගුණාත්මක හා සුරක්ෂිතතා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවැත්විණි. ඒ සඳහා අමාත්‍යවරයා සූම් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් මේ බව කීය.
මෙවර ජාත්‍යන්තර රෝගී සුරක්ෂිතතා දින තේමාව වනුයේ මාතෘ ආරක්ෂාව සහ අලුත උපන් බිලිඳුන් රැක බලා ගැනීමයි. මෙයට සමගාමීව ඖෂධ භාවිතයේදී සිදු වන වැරදි රෝගී සුරක්ෂිතතාවයට ප්‍රමුඛ ගැටලුවක් බව හඳුනාගනිමින් ඒ සඳහා වන පිළියම් ලෙසින් ක්‍රියාකාරී සැලැස්මක් ඇතුළත් අත් පොතක් මෙහිදී එළි දක්වනු ලැබීය. තවද මෙයට සමගාමීව පැවති සෞඛ්‍ය කාර්ය මණ්ඩල දිරිගැන්වීමේ තරඟාවලියේ සහතික පත් ප්‍රදානයද අද සිදු විය.
වර්තමානයේ මෙරට රෝහල් පද්ධතිය තුළ රෝගීන්ගේ ආරක්ෂාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට විශාල වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒ අනුව සියලු රෝහල් වල ගර්භණී හා ප්‍රසව ඒකක වලට අදාළ වන පූර්ව ප්‍රසව වාට්ටු සහ සායන, සූතිකාගාර හා පසු ප්‍රසව වාට්ටු වල තත්ත්වයන් ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.
රට තුළ ගෝලීය වසංගතයක් පවතින මොහොතක මාතෘ හා නව ජන්ම මරණ අනුපාතය අඩු වීම තුළින් මේ බව පැහැදිලි වන්නේ යැයිද අමාත්‍යවරයා කීය.