Spread the love

.

2025 වනවිට ශ්‍රී ලංකාවේ වන ආවරණය සියයට 30 දක්වා ඉහළ නැංවීමේ අරමුණින් පරිසර අමාත්‍යාංශය හුස්ම දෙන තුරු නමින් රුක්රෝපණ වැඩ සටහනක් ආරම්භ කොට ඇතැයි පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පැවසුවේය.

එම වැඩ සටහනට මේ වසරේ මාර්තු මාසයට වසරක් සපිරෙන අතර මේ වසර තුළ පැළ සිටුවීම සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන ලබා දීමට පරිසර අමාත්‍යාංශය රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර තිබේ. අපේ රට තුළ වන ආවරණය ඉහළ නැංවීම සඳහා ඉදිරි වසර තුනට අවශ්‍ය මුදල් ලබා දීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍යවරයා පැවසුවේය.
කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 05වන පාරිසරික සමුළුවට සහභාගි වීමට එරටට ගොස් සිටින පරිසර අමාත්‍යවරයා ඊයේ (05) නයිරෝබි හි නාකුරු විල අසළ පිහිටා තිබෙන සියයට සියයක්ම පරිසර හිතකාමී හෝටලයක් වන Sarova Lion Hill පරිශ්‍ර යේ පැවැති රුක් රෝපණ වැඩ සටහනකට සහභාගි විය


එම හෝටලයේ සාමාන්‍යාධිකාරි Jayne Kiragu මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වු අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම ප්‍ර දේශයට ආවේණික පැළ වර්ග කිහිපයක් රෝපණය කළේය. එම රුක්රෝපණ වැඩ සටහන ද හුස්ම දෙන තුරු The Trees give Breath ලෙස නම් කරන්නැයි අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.
එම හෝටලයේ නිලධාරිහු විසින් හුස්ම දෙනතුරු වැඩ සටහන සම්බන්ධව තොරතුරු ඉල්ලා සිටි අතර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම වැඩ සටහන පසුගිය වසරේ ආරම්භ කළ අතර ඒ යටතේ පසුගිය වසරේ පමණක් පැළ මිලියන 1.5කට වඩා රටපුරා රෝපණය කරන ලද බවයි. ඉදිරි වසර තුන තුළත් හුස්ම දෙන තුරු වැඩ සටහන ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්ෂාව බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම එක් එක් ප්‍ර දේශවලට ආවේණික හා පරිසර හිතකාමී ශාක වර්ග රෝපණය කරන අතර නාගරිකව තිබෙන කුඩා ඉඩම්වලට වගා කිරීමට සුදුසු පලතුරු පැළ ලබා දීම ද සිදු කරන බව අමාත්‍යවරයා කීය.
මෙම මාර්තු මාසයට හුස්ම දෙන තුරු වැඩ සටහනට වසරක් සපිරෙනවා. ඒ නිමිත්තෙන් ජාතික වැඩ සටහනක් අපි කොලඹ දී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. එදින සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය පරිදි රුක් රෝපණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.