Spread the love


අපරාධ නඩු යනා දී ළමයින් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ගවලදී ළමුන් සාක්ෂිකරුවන් ලෙස උසාවිය වෙත කැඳවීම වැළැක්වීම සම්බන්ධ නීතිය මෙරට තුළ බලාත්මක කරන බව අපරාධ හා රථ වාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, නීතීඥ, අජිත් රෝහණ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඒ අනුව ළමා සාක්ෂිකරුවන් උසාවිය වෙත භෞතිකව නොකැඳවා ඔවුන්ගේ සාක්ෂි වීඩියෝ පට වැනි තාක්ෂණික ක්‍රමවේද උපයෝගී කරගෙන ඉදිරිපත් කිරීම මෙහිදී සිදු වේ. මීට අවශ්‍ය පහසුකම් සහිතව රොටරි සමාජයේ ද සහයෝගයෙන් නිමැවූ විශේෂ මැදිරියක් “ළමා පියස” නමින් හෙටට යෙදෙන ලෝක ළමා දිනය වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.
ලෝක ළමා දිනය වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ (30) පැවති මාධ්‍ය හමුවට ඒක්වෙමින් ඒ් මහතා මේ බව සඳහන් කළේය.

වර්තමානයේ අන්තර්ජාලය හරහා දරුවන්ට සිදුකෙරෙන අපයෝජන ආදී අපරාධ වැඩි වී ඇති බැවින් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාශය ප්‍රමුඛව එම අපරාධ වැළැක්වීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය.

වයස අවුරුදු 16 ට අඩු දරුවකු සමග එම දරුවාගේ කැමැත්ත සහිතව වුවද ලිංගිකව හැසිරීම නීතියට අනුව වරදක් බව පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධව පුළුල් සමාජ දැනුවත්කිරීමක් අවශ්‍ය බව පෙන්වා දුන්නේය. .

දරුවන්ට සිදුවන අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ආයතනය වන ශ්‍රී ලංකා පොලීසිය සිය වගකීම උපරිමයෙන් ඉටුකරන බව පැවසූ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා ළමුනට අපරාධයක් සිදුවූ පසු ඊට එරෙහිව නීතිමය කටයුතු කරනවාට වඩා එවැනි අපරාධ වැළැක්වීමට ප්‍රමුඛතාව දෙන බව අවධාරණය කළේය.