Spread the love

පාස්කු ප්‍රහාරයට වෙනුවෙන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අවසන් තීන්දුව වන්නේ වගකීම් විරහිතව කටයුතු කිරීම නිසා සිදුවුණු ව්‍යවසනයක් බවත්, වගකීම් විරහිතව කටයුතු කළ පිරිසගේ සමාජීය සමාන අයිතිවාසිකම් ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තැනක් තිබෙනවා නම් නීතියානුකූලව එය ක්‍රියාත්මක කිරීමට තමන් පළමුව අත් උස්සන බවත් ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කළේය.
බලය රැකගැනීම සදහා කවුරුවත් ලගින් තබා ගැනීමට ජනාධිපතිතුමට අවශ්‍ය නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වගකීම් විරහිත කිසිම පුද්ගලයෙකුට රටක් සමාජයක් රැක ගැනීමට සහ පාලනය කිරිමට වගකීම ලබා දිය නොහැකි බවත්, පසුගිය රජය සමයේ ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් නොමැති නිසා යහපාලන රජය බලයෙන් පහකිරීමට ජනතාව කටයුතු කළ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, අපගේ ආගමේ පවතින මානුෂවදී ගුණාංග සහ සමාවදීමේ පුරුද්ද, නිවටකමක් ලෙස හෝ සබෑ යුක්තිය
සධාරණත්වය සගවා තැබීමට භාවිතා කළ නොහැකි බවත් ප්‍රකාශ කළේය.


අමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2019 වර්ෂයේ අප්‍රේල් 21 දින කටුවපිටිය,ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් පවුල් සඳහා ඉදිකළ “ශාන්ත සෙබස්තියන් නිවාස ව්‍යාපෘතිය”ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිණි. කොළඹ සහයක රදගුරු අතිඋතුම් ජේ.ඩී. ඇන්තනි ජයකොඩි හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරිණි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූ නිවසක අයිතිය නොමැති පවුල් 14 ක් වෙනුවෙන් මෙහි නිවාස ඉදිකර ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 45.3 කි. ගම්පහ, කටාන, ඩේවිඩ්වත්ත ඉඩමෙහි මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකර ඇති අතර පානීය ජලය, විදුලිය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් වලින් මෙය සමන්විතය.