Spread the love

නිමල් රාජපක්ෂ

2020 වසරේ ඉදිකිරීම් ආරම්භ කර, මූල්‍ය අරබුදයත් දේශපාලන අස්ථාවර බාවයත්, ඉදිකිරීම් සමාගම්වල පැවති අවම කාර්ය සාධනයත් හේතුකොට ගෙන ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමා තිබූ රාජගිරිය ඔබේසේකරපුර අරුණෝදය මාවත මහල් නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අද (12) ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්නැවත ආරම්භ කෙරිණ.
මෙම අවස්ථාව, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු සම්භාවනීය දේශපාලන හා වෘතීමය පිරිසගේ හා විශාල ජනසහභාගී වුහ.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, නාගරික සංවර්ධන අධිකාරියේ සේවා යෝජකත්වයෙන් මහල් 15 කින් මෙම සංකීර්ණය ඉදිකෙරේ. එක් නිවසක් වර්ග අඩි 500 වපසරියකින් යුතුව, නිවාස ඒකක 300 කින් ඉදිවන මෙම ව්‍යාපෘතිය සදහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ( ASIAN INFRASTRUCTION INVESTMENT BANK) / (AIIB) මූල්‍ය ආධාර රුපියල් මිලියන 2939.49 ක් වැය කෙරේ. මාස 18 තුළ ව්‍යාපෘතිය නිම කිරීමට සැලසුම් කර ඇත.

මෙම විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.
ජනතාවාදී ආණ්ඩුක් ලෙස අපේ මූලික සංකල්පය බවට පත් වුණේ සුවපහසු නිවසක්- සනීපාරක්ෂක ජීවිතයක්, රටේ ග්‍රාමීය, නාගරික ජනතාවට ලබා දීමයි. ඒ සදහා ඉතිහාසයේ පළමු වතාවට ජනතා රජයත් බිහි වෙලා තියෙනවා . ඔබට හිමි විය වුතු ව්‍යාපෘති එකින් එක ඉටුකරමින් පවතිනවා. නතර කර තිබූ, අතහැර දැමු ව්‍යාපෘති රැසක් නැවත ආරම්භකර තිබෙනවා මෙහි ඉදිරිපිට ඉන්න ජනතාවටත්, සුදුසුකම් ඇති සියළු දෙනාටත් ගුණාත්මක පහසුකම් සහිත නිවාස ලබා දීමට සැලසුම්ගත වැඩ පිළිවෙලක් දියත් කර තිබෙනවා .
කොළඹ නාගරික ප්‍රදේශවල 2010 වසරේ සිදුකළ සමීක්ෂණයකට අනුව නිවාස හැට දහසක් අවශ්‍ය බව වාර්තා වී තිබෙනවා . එම වාර්තාට අනුව නාගරික නිවාස හැට දහසෙන් මේ වන විට ගොඩනගා ඇත්තේ දාහතර දහසක් පමණයි.
එම නාගරික නිවාස නිර්මාණයන් නිවාස නොවේ. ඒවා කූඩාරම්. මිනිස් වාසස්ථානයට සුදුසු නැහැ. එම නිසා එම සියළු නිවාස පිළිබද පුළුල් අධ්‍යයනයක් කර ආරක්ෂිතව, මනසට සුවදායී වාසස්ථාන බවට පරිවර්තනය කිරීමේ අභියෝගාත්මක කාර්යය රජයක් ලෙස භාරගෙන කටයුතු කරමින් සිටිනවා. මේ වසර තුළ නිවාස ව්‍යාපෘති 03 ක් අවසන් කිරීමට අපේක්ෂා කරනවා. ඉදිරි වසර 02 තුළ නිවාස හත්දාහක ප්‍රමාණයක් ගොඩනගන්න කටයුතු කරනවා. නාගරික ජනතාවගේ දුක හදුනාගෙන ස්ථාවර වාසස්ථානයක් ලබා දීමට කැප වෙනවා. දැනට පවතින මහල් නිවාස සංකීර්ණ 24 තුළම පවතින දුක්ඛිත තත්ත්වය නැතිකිරීමට එකින් එක සමීක්ෂණ කරමින් පවතිනවා. එම තත්ත්වයෙන් ජනතාවට ජිවත් වෙන්න බෑ. එම ස්ථාන අපායවල් බවට පත්වෙලා.
මේවා ජනතාවගේ වැරදි විතරක් නොවේ. මේවා සැලසුම් කරනයේ දී අවධානය යොමු කලේ Land එක නිදහස් කරගැනීම විතරයි.ඒ අය ජනතාව ගැන බැලුවෙ නෑ. පහසුකම් ගැන සිතුවෙ නෑ. පරිසරය, සෞඛ්‍ය, ආරක්ෂාව ගැන තැකුවෙ නෑ. ගෙයක් කියන්නේ බිත්ති 4 ක් විතරක් නොවේ. ඒක සමාජ ආරක්ෂණ ස්ථානයක්.
පසුගිය ආණ්ඩුකාලේ කොළොන්නාව ආශ්‍රිත කුණු කදුවලට යටවෙලා අහිංසක මිනිස්සු මැරුණා. මීට ටික දිනකට පෙර බදාම තට්ටුවක් ගැලවී කුඩා දරුවෙක් මිය ගියා. මේවා මහා ඛේදවාචක . මෙවැනි අක්‍රමවත්, අනාරක්ෂිත ගොඩනැගිලි හදන්න නායකත්වය දුන් දේශපාලනඥයන් වගේම නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරීන් සහ මීට වග කිවයුතු සියළු දෙනා වගකීම් භාරගත යුතු වෙනවා. නැතිවුණු කුඩා දරුවට ජීවිතය දෙන්න බැහැ. බදාම තට්ටු ගැලවිලා දරුවෝ මිය යනවානම්, මෙතනින් එහාට ආරක්ෂික තත්ත්වය තහවුරු කරන්න, මේවා සුරක්ෂිත ස්ථාන බවට පරිවර්තනය කරන්න වෙනවා. බිමල් රත්නායක ඇමතිතුමාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරියේ, අධ්‍යක්ෂකවරු තිදෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් මගින් මේ පිළිබද අධ්‍යයන කර පවතින මහල් නිවාස සංකීර්ණ 24 ම ජීවත් විය හැකි ස්ථාන බවට පත්කිරීමට විශේෂ වැඩ පිළිවෙලත් ක්‍රියාත්මක කර තිබෙනවා .රජයක් ලෙස ප්‍රතිපාදන වෙන් කිරීමට අමතරව කාලයක් තිස්සේ පවත්වාගෙන ආ ව්‍යුහය වෙනස් කිරීමට ද කටයුතු කරනවා. නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යුහයත් වෙනස් කරනවා. මේ වසර ඇතුලත රුපියල් බිලියන 500 ක් වැය කර නාගරික මහල් නිවාස ව්‍යාපෘති නවීකරණ වැඩ සටහන ක්‍රියාත්මක කරනවා .