Spread the love

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කළුතර උතුර පැල්පොල ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ කන්ටේනරයක් ඊයේ රාත්‍රියේ දී එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනෙකු පමණ තුවාල ලබා ප්‍රතිකාර සදහා කළුතර නාගොඩ රෝහලට ඇතුළු කර ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය පවස පවසයි.

තුවාල ලැබූ පුද්ගලයින් අතර බස් රථයේ කොන්දොස්තරවරයා ද සිටින බවයි පොලීසිය පැවසුවේ.

අනතුර වන අවස්ථාවේදී බස් රථයේ මගීන් 38 දෙනෙකු සිට ඇති අතර අඩකට ආසන්න ප්‍රමාණයකට තුවාල සිදුවී ඇත.
අනතුර රාත්‍රී 10.00 ට පමණ සිදුවී ඇති අතර අනතුර පිළිබඳව 1969 අධිවේගී පාලන මධ්‍යස්ථානයට ලද දුරකථන ඇමතුමක් අනුව වහා ක්‍රියාත්මක වූ දක්ෂිණ අධිවේගී රථ වාහන රථවාහන ගැලනිගම පොලිසියේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් සිව් දෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමටත් තවත් කණ්ඩායමක් සෙසු අයට එම ස්ථානයේ දී ම මූලික ප්‍රතිකාර ලබා දීමටත් පියවර ගෙන ඇත.

අනතුර සිදු වූ අවස්ථාවේ දී බස් රථයේ පැමිණි මගී කාන්තාවක් කුපිත වී කන්ටේනර් රථ රියදුරාට පහර දීමත් සමගම සෙසු මගින් ද පහර දී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරින් තුවාල ලැබූ කොන්දොස්තරවරයා ගේ අතකට බරපතළ තුවාල සිදුවී තිබූ අතර සෙසු මගීන් බහුතරයක් දෙනාගේ මුහුණ ,කට හා නහය ආදී ප්‍රදේශවල ට තුවාල සිදුවී තිබූ බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරියෙක් පැවසුවේය.
සිදුවූ අනතුරෙන් බස් රථයේ ඉදිරිපස වම්පස ප්‍රදේශයට බරපතළ හානි සිදුවී ඇති අතර කන්ටේනර් රථයේ පිටුපස ප්‍රදේශයට හානි සිදුවී ඇත.

සිද්ධිය පිළිබද පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.