Spread the love

නිමල් රාජපක්ෂ

‘ජනාධිපතිතුමාගේ නායකත්වයෙන්, ජනතාවාදී රජයක් ලෙස අපි මේ රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉහළ ඵලදායීතාවයෙන් යුතුව ගොඩනැංවීමට අවශ්‍ය තිරසර වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ග්‍රාමීය සහ නාගරික ජනතාවගේ යටිතල පහසුකම් සංවර්ධනයට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙමින්, ඉලක්කගත වැඩපිළිවෙලක් තුළින් පරිවර්තනීය යුගයක් කරා රට මෙහෙයවමින් සිටිනවා. නාගරික ජනතාවට මහල් නිවාස සංකීර්ණ, අඩු ආදායම් ලාභීන්ට නව නිවාස යෝජනා ක්‍රම සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙමින් මෙරට නිවාස අහිමි ජනතාවට තමන්ගේම නිවසක අභිමානයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා. එවිට ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ අප රජයේ ප්‍රතිපත්තිය මේ දේශය තුළ යථාර්ථයක් බවට පත්වෙනවා.’

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා මේ අදහස් පළකලේ නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ ඉදිකරන ලද නව නිවාස තුනක් අද (15) දින ප්‍රතිලාභී නිවැසි හිමියන් වෙතට පත්කිරීමෙන් අනතුරුව අදහස් දක්වමිනි.

‘සැමට නිවාස – ක්ලීන් ශ්‍රී ලංකා’ තේමාව යටතේ නිවාස සංවර්ධන අධිකාරිය දියත්කර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ. නිවසක් තනා ගැනීමට ආර්ථික ශක්තියක් නොමැති අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවසක් ඉදිකර ගැනීමට රුපියල් මිලියනයක මූල්‍ය ප්‍රතිපාදන ලබාදේ. එම මුදල් යොදවා ප්‍රතිලාභීන්, ප්‍රදේශවාසීන්, ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්ව ඉදිකිරීම් යාන්ත්‍රණයක් තුළින් ඉහළ වටිනාකම් සහිත නවීන නිවසක් ගොඩනැංවීම සිදුකෙරේ..

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා :
‘අද විපක්‍ෂයට රටට විහිළු සපයනවා හැර වෙන කරන්න දෙයක් නැහැ. රට ආර්ථික, දේශපාලනික, සමාජයීය, අධ්‍යාපන යන සෑම ක්‍ෂේත්‍රයකින්ම පසුබෑමට ලක්කරපු පිරිස, අද රජය ගෙනයන අදූෂිත, ජනතාවාදී වැඩපිළිවෙල විවේචනය කරමින් සිටිනවා. අඩු ආදායම් ලාභියෙකු ලක්‍ෂ දහයකින් ගෙයක් හදනව කීවිට විපක්‍ෂයට ඒක තේරෙන්නේ නැහැ. ඔවුන් අහනව ලක්‍ෂ දහයකින් කොහොමද ගෙවල් හදන්නේ කියලා. ප්‍රතිලාභියා, මහජනතාව, නිලධාරි සහාය ඇතිව විනිවිදභාවයෙන් යුතු මුදල් කළමනාකරණයකින් මෙම ව්‍යාපෘතිය තිර අදිටනකින් සිදුවීම විපක්‍ෂයට තේරෙන්නේ නැහැ. මේ ගැන විපක්‍ෂයට හිතාගන්නවත් බැහැ. මොකද ඒ අය පහුගිය කාලේ සංවර්ධනය මුවාවෙන් නිවාස ව්‍යාපෘති මගින් මහජන මුදල් වියදම් කරපු විදියත් එක්ක බලනකොට විපක්‍ෂයට මේ ගැන තේරෙන්නෙම නැහැ.’