නිමල් රාජපක්ෂ
ශ්රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස පත්වූ නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා අද (2025 සැප්තැම්බර් 09) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ හමුවිය.
ඒ අනුව, නාවික හමුදා මූලස්ථානය වෙත පිවිසි අභිනව පොලිස්පති, බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර විසින් නාවික හමුදා මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසු සම්ප්රදායානුකූලව නාවික හමුදා සම්මාන ආචාර මුරයක් මඟින් උත්තමාචාර පිරිනැමීමට කටයුතු කෙරිණි. අනතුරුව, නාවික හමුදාධිපති විසින් නාවික හමුදා කළමනාකරණ මණ්ඩලය පොලිස්පති වෙත හඳුන්වා දීම සිදු කෙරිණි.
පොලිස්පති නීතිඥ ප්රියන්ත වීරසූරිය මහතා ශ්රී ලංකා පොලීසියේ 37 වැනි පොලිස්පති ලෙස 2025 අගෝස්තු මස 14 වැනි දින පත්වීමෙන් පසුව, නාවික හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්රථම අවස්ථාව මෙය වන අතර, මෙම නිල හමුවේදී නාවික හමුදාධිපති සහ පොලිස්පති අතර ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ පැවති සුහද පිළිසඳරකින් අනතුරුව, නව ධූරයේ ඉදිරි කටයුතු සඳහා නාවික හමුදාධිපති විසින් සුභපැතුම් පිරිනැමීමට කටයුතු කෙරිණි.
තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාධිපති සහ පොලිස්පති අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.
