Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව පසුගිය දෙසතිය තුල ( අගෝස්තු 19 සිට 31 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල්, පුපුරණ ද්‍රව්‍ය සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුනු සැකකරුවන් විසිනව දෙනෙකු (29) සමඟ ඩිංගි යාත්‍රා අටක් (08) සහ තෙප්පම් යාත්‍රාවක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
නීති විරෝධී ධීවර ආම්පන්න සහ පන්න ක්‍රම භාවිතයෙන් සිදුකරණු ලබන ධීවර කටයුතු හේතුවෙන්, සාගර පරිසර පද්ධතියට සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා සහ නීත්‍යානුකූල ධීවර කටයුතු ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව දේශීය ජල තීරය ආවරණය වන පරිදි නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, නැගෙනහිර නාවික විධානය මඟින් ත්‍රීකුණාමලය වලෙයිතෝට්ටම්, කොකනට් පොයින්ට්, පාලමුනෙයි, ජින්නපුරම්, ෆාවුල් පොයින්ට්, ෆ්ලෑග්ස්ටාෆ් පොයින්ට්,අඩුක්කුපාඩු,ඩෙඩ්මන්ස් කෝ සහ කින්නියා යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, සහ උතුරු නාවික විධානය, යාපනය පොලිස් විශේෂ කාර්යය බළකාය හා එක්ව යාපනය නගරය ආවරණය වන පරිදි සිදුකල මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින්, තහනම් ධිවර දැල්, පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සහ විදුලි ආලෝක ධාරා භාවිතයෙන් නීති විරෝධීව ධීවර කටයුතු සිදුකල සහ තහනම් ධීවර දැල් අලෙවි කිරීම සඳහා සූදානම් කරන ලද සැක‍කරුවන් ඩිංගි යාත්‍රා තෙප්පම් යාත්‍රාවක් (01) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කෙරිණි.
තවද, මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න, පුපුරණ ද්‍රව්‍ය සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, වෙරුගල්, කොඩ්බේ, කුච්චවේලි මඩකලපුව, සහ යාපනය ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කෙරිණි.