Spread the love

ලෝක ආර්ථික සංසදය (World Economic Forum) විසින් ගරු ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා තරුණ ගෝලීය නායකයකු (Young Global Leader: YGL) වශයෙන් තෝරාගෙන තිබෙන බව, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය දැනුම් දී සිටියි.

මෙසේ අමාත්‍යවරයකු තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් පිළිගැනීමට ලක්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට වන බැවින්, අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් තෝරා ගැනීම සුවිශේෂී අවස්ථාවකි.

පසුගිය වර්ෂයේ අමාත්‍යවරයකු බවට පත්වූ තොණ්ඩමන් මහතා, ඉතිහාසයේ පටන් ආන්තීකරණයට ලක් වූ ජන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්ව වැඩිදියුණු කිරීම, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට ආරක්ෂිත සහ දැරිය හැකි පානීය ජල පරිභෝජනය සඳහා වූ ප්‍රවේශය සහතික කිරීම සඳහා ජල සම්පාදන ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණවලට නායකත්වය ලබා දීම අරමුණු කරගත් මුලපිරීම් කිහිපයකට ම නායකත්වය ලබා දුන්නේය. රාජ්‍ය සේවාව සඳහා ඔහු දරන කැපවීම සහ නායකත්වය සඳහා ඔහුගේ නව්‍ය ප්‍රවේශය ජාතික මට්ටමින් ම සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබෙන අතර, ඉහතා තෝරා ගැනීම හරහා එය දැන් ගොලීය මට්ටමින් ම පිළිගැනීමට ලක්ව තිබේ.

තරුණ ගෝලීය නායක (YGL) ප්‍රජාව යනු ගෝලීය වශයෙන් අනාගතය හැඩගැස්වීම සඳහා කැපවීමක් දරන සුවිශේෂී නායකයන් 1,000 කට අධික සංඛ්‍යාවකින් යුත් අසමසම, බහු-පාර්ශවික ප්‍රජාවකි. තරුණ ගෝලීය නායකයකු (YGL) වශයෙන් තේරී පත්වීම, අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ දැක්ම, නායකත්ව ගුණාංග, සහ සමානාත්මතාවය සහ තිරසාරභාවය වෙනුවෙන් ඔහු දරන අප්‍රතිහත ධෛර්‍යය සඳහා වූ කදිම සාක්ෂියකි.

මෙම ජයග්‍රහණය පිළිබඳව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය, තොණ්ඩමන් මහතාට සුබ පැතුම් එක්කරන අතර, ජාතියේ සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාම, තරුණ සවිබල ගැන්වීම් දිරිගැන්වීම, සහ ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ පැවැත්ම වැඩි දියුණු කිරීම සඳහා මෙම අවස්ථාව යොදා ගැනීමට ඔහු ගන්නා අඛණ්ඩ උත්සාහයට සහාය දක්වන බව දැනුම් දී සිටියි.

තරුණ ගොලීය නායකයකු (YGL) වශයෙන් තොණ්ඩමන් අමාත්‍යවරයා තෝරා ගැනීම, දේශපාලනික වශයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ගතික සහ ප්‍රගතිශීලී බලවේගයක් ලෙස ඒ මහතා දරන භූමිකාව විදහා පායි. එමෙන්ම, එය ඵලදායී නායකත්වයක් සඳහා ඇති හැකියාව, සහ වඩාත් ඇතුළත්භාවයෙන් යුතු, තිරසාර සහ සමෘද්ධිමත් අනාගතයක් ගොඩ නැඟීම සඳහා වූ සාමූහික ප්‍රයද්නවල වැදගත්කම අවධාරණය කරයි