දිවයිනේ වැඩිම වන සත්ත්ව හානි සිදුවන දිස්ත්‍රික්කය ලෙස හඳුනාගෙන ඇති මහනුවර දිස්ත්‍රික්කය ආශ්‍රිතව නැවත වරක් විද්‍යාත්මක සමීක්ෂණයක් සිදු කිරීමට වන සතුන්ගෙන් සිදුවන හානි අවම කිරීම සඳහා පියවර ගැනීම සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර ඇත.
මෙම තීරණයට එළඹ ඇත්තේ මීට පෙර සිදුකළ සංගණනයකදී මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඉහළ සත්ත්ව ගහනයන් පිළිබඳව මතුවූ සැකයන් හේතුවෙනි.
මෙම විද්‍යාත්මක සමීක්ෂණය පේරාදෙණිය සහ කොළඹ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත අතර, එහි මූලිකත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල ඇතුළු කණ්ඩායමකට පැවරී ඇත. දින කිහිපයක් තුළ මෙම සමීක්ෂණය අවසන් කිරීමට අපේක්ෂා කරන අතර, සමීක්ෂණය විද්‍යානුකූලව සිදුකරන ආකාරය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් සති දෙකක් ඇතුළත ජනාධිපති ලේකම්වරයා වෙත භාර දීමට නියමිතය. සමීක්ෂණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශය හරහා ලබා දීමට නියමිත බව වාර්තා වේ.
මහනුවර දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි රිළවා, මොනරා, වඳුරා සහ දඬු ලේනා යන සතුන් සම්බන්ධයෙන් මෙම සමීක්ෂණය සිදු කෙරේ. මෙම සමීක්ෂණයේ ප්‍රතිඵල මත පදනම්ව, අදාළ සතුන් පාලනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමට සැලසුම් කර ඇති අතර, එම ක්‍රියාමාර්ග අනෙකුත් දිස්ත්‍රික්කවලද ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
පසුගිය මාර්තු 15 වන දින පෙරවරු 8.00 සිට 8.05 දක්වා දිවයින පුරා සිදුකරන ලද වන සත්ත්ව සංගණනයට අනුව, මහනුවර දිස්ත්‍රික්කය තුළ රිළව් 634,668 ක්, දඬු ලේනුන් 163,929 ක්, මොණරුන් 106,582 ක් සහ වඳුරන් 86,834 ක් සිටින බව අනාවරණය විය. කෙසේ වෙතත්, දිස්ත්‍රික්කය තුළ මෙවැනි විශාල සත්ත්ව ගහනයක් සිටීම පිළිබඳව ගැටලු මතුව ඇති බැවින්, මෙම නව විද්‍යාත්මක සමීක්ෂණය අත්‍යවශ්‍ය වී තිබේ.
අදාළ සංගණන දත්ත අනුව, වන සතුන්ගෙන් දිවයිනේ දෙවැනියට වැඩිම හානියක් කෑගල්ල දිස්ත්‍රික්කයෙන්ද, තෙවැනියට වැඩිම හානියක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වේ. කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසන්නේ ඉදිරියේදී මෙම දිස්ත්‍රික්කවල ද වන සතුන් සම්බන්ධයෙන් විද්‍යාත්මක සමීක්ෂණ සිදු කිරීමට ඉඩ ඇති බවයි.
