Spread the love

රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරා ගැනීම රජයේ අරමුණ බවත්, එහිදී කර්මාන්තකරුවන්ට සහ ආයෝජකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය නොපැකිළව කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඇගලුම් ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

මෙහිදී දැනට පවතින කර්මාන්ත වෙනුවෙන් පහසුකම් සැපයීම තුළින් පළමු වටයේදී අපේක්ෂිත වර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා ප්‍රවේශයක් ලබාගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී සෑම රුපියලක්ම වඩා ප්‍රතිඵලදායී ආයෝජන වෙනුවෙන් යෙදවීම රජයේ ප්‍රතිපත්තිය බවද පැවසීය.

මෙහිදී ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (Joint Apparel Association Forum), නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයන්ගේ සංගමය (FTZMA) ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ නියෝජිතයෝ එක් එක් ක්ෂේත්‍රයන්ට අදාළව අයවැය යෝජනා ඉදිරිපත් කළහ.

නිෂ්පාදන පිරිවැය ඉහළ යාම ඇතුළු ඇඟලුම් ක්ෂේත්‍රයේ නව අභියෝග සහ අවස්ථා පිළිබඳවද පාර්ශ්වකරුවන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරන ලද අතර, සියලු ක්ෂේත්‍ර සඳහා බදු සහන හිමි විය යුතු බව රජය පිළිගන්නා බවත්, රජයේ ආදායම් තත්ත්වයට සාපේක්ෂව රටේ ආර්ථිකයද ආරක්ෂා කර ගනිමින් ඉදිරියේදී එම සහන ලබා දීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ඇමෙරිකා එක්සත් ජනපදය “අන්‍යෝන්‍ය තීරුබදු” ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරුබදු ප්‍රතිශතය අඩු කර ගැනීමට රජය සිදු කළ මැදිහත්වීම මෙහිදී අගය කළ කර්මාන්තකරුවෝ, ඒ පිළිබඳ ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළ අතර, ඉදිරියේදී තවදුරටත් සහන ලබා ගැනීමට මැදිහත් වන ලෙසද ඉල්ලා සිටියහ.

එමෙන්ම, ඇඟලුම් ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, ලෝක වෙළෙඳපොළ තුළ මේ වන විට ශ්‍රී ලංකාවට ඇති නව අවස්ථා ඵලදායී ලෙස යොදා ගැනීමට සහ අභියෝගයන්ට මුහුණ දීමට ගත හැකි පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි. මෙම කරුණු පිළිබඳව ඉදිරි විදේශ නිල සංචාරවලදී අවධානය යොමු කරන ලෙසද පැමිණ සිටි නියෝජිතයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

මේ වන විටත් රජයේ අවධානය යොමුව තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ සංවර්ධන බැංකුවක අවශ්‍යතාව මෙහිදී පැමිණ සිටි නියෝජිතයන් විසින් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.