නිමල් රාජපක්ෂ
ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉතිහාසයේ පළමුවරට උපදේණ සභාවක් පත්කිරීම අද (9 දා) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
සේවා අංශය වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය උපදේශණ සභාවක් පත්කළ පළමු අවස්ථාව මෙය වෙයි.
ශ්‍රී ලංකාවේ වසර 30 කට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන එන නිර්මාණාත්මක කර්මාන්තයක් ලෙස හදුනාගෙන ඇති මෙම ඉසව් කළමණාකරණ කර්මාන්තය 2025 වසරේදී රුපියල් බිලියන 60 ක වටිනාමක් සහිත ඍජු රැකියා අවස්ථා 30 000 ක්, වක්‍ර රැකියා අවස්ථා 80 000 ක් ලබාදී ඇති, පවුල් ලක්ෂ 4 කට අධික ප්‍රමාණයක් යැපෙන, ලංකාවේ ශිල්පීය දක්ෂතා ලෝකයට ගෙනයන දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයක් වෙයි. ඉදිරියේදී මෙම කර්මාන්තය රැපියල් බිලියන 250 ක දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි.
ගෝලීයව මෙම කර්මාන්තය වාර්ශකව 10%- 14% වැනි ඉහළ වර්ධන වේගයකින් ඉදිරියට යන අතර ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.5 ක වටිනාකමක් හිමිකරගෙන සිටියි.
රාජ්‍ය අංශය, පුද්ගලික අංශය හා ශාස්ත්‍රීය අංශය යන අංශ තුනම නියෝජනය වන පරිදි කමිටු සාමාජිකයින් 25 දෙනෙක්ගෙන් මෙම උපදේණ සභාව සමන්විත වන අතර එහි සභාපතිවරයා ලෙස ඉසව් කළමණාකරණ සංගමයේ සභාපති සාලිය වීරසේකර මහතා පත්විය.
මෙම ක්ෂේත්‍රයේ මේ වන විට පවතින ගැටළු, අභිවෘද්ධිය සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරි සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අතර සංචාරක ව්‍යාපාරය සමඟ ඒකාබද්ධව දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව ඉසව් ((Event) සඳහා කේන්ද්‍රස්ථානයක් (Hub) බවට පත්කීරීමට ඇති හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංයේ ලේකම් තිලකා ජයසුන්දර, අතිරේක ලේකම් S.W.C. ජයමිණි, අධ්‍යක්ෂ ගීතානි දිසානායන, අමාත්‍යාංශ නිලධාරීන්, ඉසව් කළමණාකරණ ක්ෂේත්‍රයේ නියුතු නිර්මාණකරුවන් ප්‍රමුඛ කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
