Spread the love

*තැපැල්කරු මහතූන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීමේ නියමු ව්‍යාපෘතියක් ද මීට සමගාමීව ආරම්භ කෙරේ.*

පසුගිය වසරේ සුවිශේෂි පරිවර්තනයකට සහ පිබිදීමකට ලක් කළ මෙර‌ට තැපැල් සේවාවේ ප්‍රවාහන සේවාවන් තවත් කාර්යක්ෂම කිරීමට පියවර ගනිමින්  රුපියල් කෝටි පනස් නවයක් (590,000,000) ආසන්න වටිනාකමකින් යුත් ලොරි රථ 10 ක් සහ කෲ කැබ් 20 ක් මෙරට  තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීම  සහ නියමු ව්‍යාපෘතියකට අනුව තැපැල්කරු මහතූන්ගේ යතුරුපැදි සඳහා තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) බෙදාදීම
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (12) පස්වරු 1.00 ට තැපැල් මූලස්ථානයේ දී සිදු කිරීමට නියමිතය.

2025 වසරේ අයවැය ප්‍රතිපාදන යටතේ තැපැල් දෙපාර්තමේන්තුවේ සේවාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ලබාදෙනු ලබන මෙම ලොරි රථ සහ තැපැල් බහාලුම් පෙට්ටි (Bicycle Carriers) මධ්‍ය තැපැල් හුවමාරුවේ සිට මුලු  දිවයිනම ආවරණය වන පරිදි COD, Slp Courier ඇතුලු සියලු තැපැල් භාණ්ඩ කාර්යක්ෂමව බෙදා හැරීමට යොදා ගැනීමට  සැලසුම් කර ඇත.

ඉදිරියේ දී මෙරට තැපැ‌ල් සේවාවේ ලිපි සහ තැපැල් භාණ්ඩ පහසුවෙන් සහ කාර්යක්ෂමව බෙදාහැරීමේ කටයුතු තවත් විධිමත් සහ ශක්තිමත් කිරීමට ද  අපේක්ෂිතය.

පසුගිය වර්ෂය තුළ දී ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ වෘත්තීන් සදහා නව  බදවා ගැනීම්, ස්ථීර කිරීම් රාශියක් සිදුකළ අතර, නව තැපැල් කාර්යාල සදහා මුල්ගල් තැබීම්, විවෘත කිරීම් ද බොහෝමයක් සිදු  කරමින් තැපෑලේ මානව හා භෞතික සම්පත් සංවර්ධනයට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කටයුතු කෙරිණි.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවීමට නියමිතය.