මිහිකත පරිසර ප්‍රතිපත්තිය හා පුනරුද යුගය ගැන කතා කරමින් බලයට ආ වර්තමාන ආණ්ඩුව එම ප්‍රතිපත්ති අමතක කොට වනාන්තර හයක පරිසර හානි කරමින් සිටින බවට වත්මන් රජය බලයට ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කළ පරිසරවේදීහු පවසති.
විශේෂයෙන් සිංහරාජ වනාන්තරයේ ඉළුඹකන්ද හා සූරියකන්ද යා කරමින් මාර්ගයක් ඉදිකිරීමට මේ වන විටත් මැනුම් කටයුතු සිදුකර ඇතැයි එම මාර්ගය ඉදිකරන්නේ සිංහරාජයේ නොඉඳුල් වනාන්තර හා උපකඳුකර වැසි වනාන්තර හරහා බවත් එම වැසි වනාන්තරයේ ඇති ආවේණික සත්ව විශේෂ වලින් සියයට අනූවක් පමණ ඇත්තේ එම ප්‍රදේශවල බවත් ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කැඳවුම්කරු සජීව චාමිකර කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේය.
දැනට අබලන්ව පවතින මාර්ගය අලුත්වැඩියා කිරීම වෙනුවට මේ දුෂ්කර වනාන්තර ප්‍රදේශය හරහා මාර්ගයක් අලුතින් ඉදිකිරීම දේශපාලනික කාරණයක් මිස පරිසරය ගැන සිතා කරන්නක් නොවේ යැයි කී වාමිකර මහතා වර්තමාන රජය බලයට ගෙන ඒමේදී මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තු නොවූ බවද කීවේය.
දැනට ඉතිරිව ඇති නකල්ස්, සිංහරාජ හා ශ්‍රී පාද අඩවිය යන වනාන්තර පද්ධති තුනම මේ වන විට මාර්ග ඉදිකරමින් විනාශ කිරීමට සූදානමක් ඇතැයි පෙන්වා දුන් ඔහු වනාන්තර හරහා මාර්ග ඉදිකිරීමෙන් ආක්‍රමණික ශාක වනාන්තර ආක්‍රමණය කරන බව
ද පෙන්වා දුන්නේය.
සිංහරාජය ආක්‍රමණය කර ඇති කටකළු බෝවිටියා ඊට හොඳම උදාහරණයක් බව පෙන්වා දුන් වාමිකර මහතා ජෛව පද්ධති බිඳවැටෙමින් ඇතැයි ද මේ වන විට උරග විශේෂ දෙකක් විනාශ වී ඇතැයි ද කීවේය.
සිංහරාජය හැරුණු විට වැල්ලවාය සහ බුත්තල දෙමීය කුඩාඔය අලිමංකඩ, වැටහිර කන්ද ස්වභාව රක්ෂිතයේ අලිංමංකඩ, වත්තේගම කැබිලිත්තවනාන්තරය, කහල්ල පල්ලෙකැලේ අභය භූමිය සහ නකල්ස් සංරක්ෂිතවනාන්තරය යන වනාන්තරවල දේශපාලන මැදිහත්වීම් මත විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කෙරෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
