නිමල් රාජපක්ෂ
“පසුගිය රජයන් දේශපාලනය ප්‍රධාන කරගෙන රාජ්‍ය ආයතනවලට බඳවා ගැනීම් සිදු කළා. මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන කොතරම් දේශපාලනීකරණය වූවාදැ යි රට ම දන්නවා. බඳවා ගැනීම් කළ හැටි, ස්ථිර කරපු විදිය, කෝටි ගණන් මුදල් නාස්ති කළ විදිය ගැන දන්නවා. 2024 සැප්තැම්බර් 21 ජනතාව ගත් අභීත, නිවැරදි තීන්දුව මේ රට වෙනස් ගමනකට යොමු කළා. පසුගිය රජයන් හෘද සාක්‍ෂියක් නැතුව, නපුරු දේශපාලන අරමුණු ඇතිව කටයුතු කළා. එම යුගය නිමාකර අදූෂිත පාලන තන්ත්‍රයක් යටතේ සමානාත්මතාවයෙන් ක්‍රියාකරන පාලනයක් දැන් බිහිවී තිබෙනවා.”
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් කම්කරුවන් ස්ථිර සේවයට පත්කිරීමේ පත්වීම් ලිපි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මෙම පත්වීම් ලිපි ප්‍රදානය අද (.08) කොළඹ 03, අරලියගහ මන්දිරයේ මහජන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී උතුරු, නැගෙනහිර ඇතුළු දිවයිනේ පළාත් නවය ම නියෝජනය වන පරිදි සේවකයින් 704 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලිපි පිරිනැමීම සිදු කෙරිණි. 2017 වසරෙන් පසු අධිකාරියේ ස්ථිර සේවයට අන්තර්ග්‍රහණය වූ මෙම සේවක පිරිස දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සේවය සඳහා අද දින සිට සක්‍රිය දායකත්වය ලබාදෙනු ඇත.
මෙම අවස්ථාවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල සී. කේ. පෙරේරා, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ටී. පාස්කරන්, අධ්‍යක්‍ෂ ජනරාල් විමල් කණ්ඩම්බි, නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විමල් රාජපක්‍ෂ යන මහත්වරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.
