Spread the love

අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නොමැති බවත්, මේ වන විට එහි ආර්ථික ප්‍රතිපත්තිය හසුරුවන්නේ පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායම විසින් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පසුගිය කාලයේ දේශපාලන පක්ෂ තුළ බෙදිමක් ඇති වුණා. පොහොට්ටුවේ සභාපති සහ සුළුතරයක් විපක්ෂයට ගියා. දැන් එම කණ්ඩායම සමගි ජනබලවේගය අල්ලාගෙන සිටිනවා. 2020 සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ අපි එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒ නිසා සිරිකොත අල්ලාගන්න ඕන කියලා. එසේ පැවසු සමගි ජන බලවේගය අද පොහොට්ටුවෙන් පිටමන් කළ කණ්ඩායමට යට වී සිටිනවා.

අද සමගි ජන බලවේගය තුළ එක්සත් ජාතික පක්ෂය නැහැ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කළේ මමයි. ජේ.ආර්. ජයවර්ධන, ආර්, ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග මේ සියලුදෙනා සමඟ අපි වැඩකළා.

අද සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂය කියන්න කිසිම අයිතියක් නැහැ. අද අපට පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ද වැඩ කිරීමට සිදුව තිබෙනවා. රට වෙනුවෙන් අපි එකට සිටිය යුතුයි. අද දේශපාලනය වෙනස් වෙලා.

ඔබ සියලුදෙනා ගමට යා යුතුයි. උරුමය සින්නක්කර ඔප්පු ලක්ෂ 20න්, ලක්ෂ 10ක් මේ වන විට සකස් කර අවසන් කර තිබෙනවා. එම ඔප්පු මාසයක් තුළ ජනතාවට බෙදා දීමට අපිට එක්ව වැඩ කරන්න හැකියාව තිබෙනවා. ඒ නිසා මේ මහනුවර දිස්ත්‍රික්කයේ ඔබ සියලුදෙනා මනා සම්බන්ධීකරණයකින් යුතුව රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ සහාය ජනාධිපතිවරයා වෙත පළ කරමින් සංවිධානය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ජනාධිපති මන්දිරයේ දී එක් විය.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා, ගම සමග සම්බන්ධීකරණයට පළාත් පාලන හිටපු සභාපතිවරුන්ගේ සාමාජිකත්වයෙන් උපදේශක සංවිධානයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව ගම්වල තිබෙන ගැටළු පිළිබඳව සෘජුව ජනාධිපතිවරයාව සහ අගමැතිවරයාව දැනුම්වත් කිරීමට හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

දැනට රජය ගෙනයන “අස්වැසුම” වැඩසටහන සහ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට ඍජුව සහභාගී වන ලෙස හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

එසේම පළාත් පාලන බල ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ නියමුවන් ලෙස ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.