නිමල් රාජපක්ෂ
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 296කට අධික තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් 11ක් දකුණු දිග ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගැනිණ
ගෙවී ගිය 2025 වසරේ විෂ මත්ද්‍රව්‍ය විශාල තොගයක් නීතියේ රැහැනට හසුකර දීමට දායක වු නාවික හමුදාව, ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අඛණ්ඩව නාවික මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ශ්‍රී ලංකාවට දකුණු දිග ගැඹුරු මුහුදේ සිදුකල විශේෂ නාවික මෙහෙයුමකදී, විෂ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා 02ක් සමඟ සැකකරුවන් එකොලොස් දෙනෙකු (11) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
ශ්‍රී ලංකා පොලීසිය හා නාවික හමුදාව එක්ව තොරතුරු හුවමාරු කර ගනිමින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ, නාවික හමුදාවේ දිගුදුර ආවේක්‍ෂණ නෞකා යොදා ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් පස්දෙනෙකු (05) ද, එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව තවදුරටත් සිදුකළ නාවික මෙහෙයුම්වල ප්‍රතිඵලයක් ලෙස, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන තවත් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් හය දෙනෙකු (06) සහ සන්නිවේදන උපකරණ ද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි. නාවික හමුදා භාරයට ගත් එම බහුදින ධීවර යාත්‍රා, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන උර දාහතරක් (14) සහ සැකකරුවන් අද උදෑසන (2026 ජනවාරි 25) දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකල විශේෂඥ පරීක්‍ෂාවේදී, එම යාත්‍රා තුල තිබු උර දාහතරෙහි (14) හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය අසූ හතරකට (184) අධික තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකසිය දොලහකට (112) අධික තොගයක් ඇති බවට තහවුරු විය. එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය සඳහා ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාද එක්විය.
මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණයට එක්වූ ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යතුමන් අදහස් දක්වමින්, වත්මන් රජය රට ගොඩනැගීම සඳහා නියමු ව්‍යපෘති ගණනාවක් ක්‍රියාත්මක කර ඇති බවත්, එහි ප්‍රධාන ව්‍යපෘතියක් ලෙස ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම මත, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සෘජු අධීක්‍ෂණයෙන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සියළුම බුද්ධි අංශ සැලැස්මක් සහිතව ‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය වැටලීමේ ක්‍රියාන්විත මනා සංවිධානයකින් යුතුව, පුළුල්ව සහ තීව්‍ර ලෙස දියත් කර ඇති බවත්, රට තුලට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාවාරම්කරුවන් හට ඒ සඳහා කිසිදු අවස්ථාවක් නොමැති බවත් අවධාරනය කෙරිණි.
