පළාත් පාලන ආයතන සඳහා තේරී පත්වූ සභිකයින්ගේ තොරතුරු මෙම සතිය තුළ ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දෙයි
ඒ අනුව එම තොරතුරු ලැබුණු විගස සභිකයින්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගන්නා බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ.
පසුගිය 06 දින පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසිමේදී ඒ ඒ පක්ෂවලට හිමි වූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අනුව සභිකයින් තෝරාගත යුතු ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සියලු පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර තිබුණු අතර, ඒ අනුව සතියක් තුළ පළාත් පාලන ආයතන සඳහා සභිකයින් නම්කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පක්ෂවලට දැනුම් දී තිබෙන්නේ.
ඊට අමතරව බහුතර බලයක් හිමි වූ පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම් කර එවන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත දැනුම් දී ඇත.