මෙරට සිදුවන සමස්ත මරණ අතුරින් 70% ක් අධි රුධිර පීඩනය හේතුවෙන් ඇතිවන රෝගී තත්ත්වයන් හේතුවෙන් සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාශයේ බෝ නොවන රෝග ඒකකය පවසයි.
බෝ නොවන රෝග සම්බන්ධයෙන් 2021 වර්ෂයේ සිදුකළ සමීක්ෂණය මඟින් මෙරට ජනතාවගෙන් 34.8% ක් අධි රුධිර පීඩනයෙන් පෙළෙන බවට හඳුනාගෙන ඇති බවයි එම ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කළේ.
මුල් අවස්ථාවන්වලදී මෙහි කිසිම රෝග ලක්ෂණයක් නොමැති බවත්, අධික රුධිර පීඩනය ශරීරය තුළ යම් කාලයක් පැවති පසු අඝාතය හෝ හෘදයාබාධයක් ලෙස එළියට පැමිණිය හැකි බවද ඇය සඳහන් කළා.
අධි රුධිර පීඩනයෙන් පෙළෙන ජනතාවගෙන් 64%ක් පමණ ඖෂධ වර්ගයක් භාවිතා නොකරන බවත්, තමන්ට අධික රුධිර පීඩනය තිබෙන බවට දැන සිටින්නේ 18% ක් වන අතර එය භයානක තත්ත්වයක් බවයි විශේෂඥ වෛද්‍ය සමින්ධි සමරකෝන් සඳහන් කර සිටියේ.
සෑම රෝහලකම ‘සුවදිවි සායනය’ නමින් සායනයක් ඇති බවද, නමුත් රෝගීන්ගේ පැමිණීම ඉතා අඩු බවද, අඩුම වශයෙන් වසරකට වරක්වත් රුධිර පීඩනය මැන ගැනීම වැදගත් බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.