Spread the love

ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව විදුලි වෘත්තීය සමිති විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සූදානම් බවට අනතුරු අඟවයි. රජය තම ඉල්ලීම්වලට සාධනීය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, මෙම අරගලය ඒකාබද්ධ වැඩ වර්ජනයක් දක්වා වර්ධනය විය හැකි බව ඔවුන් අවධාරණය කරයි.

තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමයේ උප සභාපති නන්දන උදාය කුමාර මහතා පවසන පරිදි, දැනටමත් බැංකු, විදුලි සන්දේශ, සහ ඛනිජ තෙල් වැනි ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සමඟ සාකච්ඡා පවත්වමින් සිටී. මෙමගින්, ඔවුන්ගේ අරගලයට පුළුල් සහයෝගයක් ලබාගැනීමට අපේක්ෂා කෙරේ.

පසුගිය බ්‍රහස්පතින්දා සිට “අකුරට වැඩ කිරීමේ” වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති අතර, එය දෙසැම්බර් 15 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම කාලය තුළ තම ඉල්ලීම්වලට නිසි විසඳුමක් නොලැබුණහොත් දෙසැම්බර් 16 වැනිදා සිට ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බවත්, එයද සාර්ථක නොවන්නේ නම් පාරිභෝගිකයින්ට අපහසුතා ඇතිවන ආකාරයේ ක්‍රියාමාර්ගයකට යොමුවීමට සිදුවනු ඇති බවත් වෘත්තීය සමිති පෙන්වා දෙයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඇතිවිය හැකි අපහසුතාවල වගකීම, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ කාර්යාලය විසින් භාරගත යුතු බවට වෘත්තීය සමිති නියෝජිතයෝ අවධාරණය කරති. ඔවුන්ට අනුව, ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ විදුලිබල සංශෝධිත පනතට පටහැනි ආකාරයටයි.

ජාතික සම්පත් ආරක්ෂා කරන බවට පොරොන්දු වී බලයට පැමිණි ආණ්ඩුව, සේවක අයිතිවාසිකම් කඩකරමින් සහ වෘත්තීය සමිති සමඟ ඇතිකරගත් එකඟතා නොසලකා හරිමින් මෙම ප්‍රතිව්‍යුහගතකරණය සිදුකරන බවට ඔවුන් චෝදනා කරයි. වෘත්තීය සමිති මෙම අරගලය ආරම්භ කර ඇත්තේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි ලෙස සිදුකිරීම සහ සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ඇතුළු ඉල්ලීම් 24ක් මුල් කරගෙනය.