මෙරට ජනතාවගේ බදු මුදලින් උපාධිධාරියෙක් නිර්මාණය කළ විට ඔහුගේ අනාගත වගකීම රජයට පවතින බැවින් රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයට මෙන් ම ජාත්‍යන්තරයට වෘත්තියන් ගෙන යාමේ වගකීම ද ශ්‍රී ලංකා රජය සතු වන බැවින්, රටට අවශ්‍ය වෛද්‍ය වෘත්තිකයින් රටතුළ බිහිකර ගන්නා අතරම විදේශයන් සඳහා ද, වෛද්‍ය වෘත්තිකයන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් යැවීම පිළිබඳව මේ වන විට සාකච්ඡා පවත්වමින් සැලසුම් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කරනු ලැබුයේ, පරිපූරක අතුරු වෛද්‍ය කර්මයට අදාළ අනුස්ථාපන හා සමායෝජන පාඨමාලා සඳහා උපාධිධාරීන් 85 දෙනෙක් සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ය.
මෙහි දී විකිරණ ශිල්පි තනතුර සදහා 74 දෙනෙක් සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස 85 දෙනෙකු බඳවා ගන්නා ලද අතර ඔවුන් හට මාස හයක පුහුණු පාඨමාලාවක් කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය, රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වල ලබා දීමට නියමිත ය. මෙම බඳවා ගැනීම් තුළ විශේෂත්වය වනුයේ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සඳහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීම ය.
මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය, වෙළෙඳ ආදී සෑම ක්ෂේත්‍රයකම පවතින සම්බන්ධතාවය මෙතෙක් නිසි අයුරින් සිදු නොවීම හේතුවෙන් වර්තමානය වන විට විවිධ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීම අභියෝගයක් වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා එම ගැටලු නිරාකරනය කර ගනිමින් ඉදිරියට යාමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති බව ද පැවසීය.
මෙරට සමස්ත සෞඛ්‍ය වෘත්තිකයන් සියලු දෙනාටම අවශ්‍ය කරන නවීන දැනුම, තාක්ෂණය, පුහුණුව ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ලෝකයේ වෙනත් රටවල්, සංවිධාන හා ආයතන සමග සම්බන්ධීකරණය ගොඩනගිමින් මෙරට සෞඛ්‍ය වෘත්තිකයන්ට නව තාක්ෂණ දැනුම මෙන්ම කුසතාවයන් වර්ධනය කර ගැනීම සදහා වැඩි අවස්ථා නිර්මාණය කර දීමට ද කටයුතු කරන බව පැවසී ය.
ශ්‍රවණවේදය සහ විකිරණ තාක්ෂණය යන ක්ෂේත්‍ර වේගයෙන් දියුණු වන අංශ බව පෙන්වා දුන් අමාත්‍යවරයා ගෙවුණු දසවසරක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ඉතා නවීන උපකරණ මිල දී ගැනීමට හැකියාව ලැබී ඇති බවත්, ඒ කෙසේ වුව ද උපකරණ වලට වඩා සෞඛ්‍ය අංශයේ මානව සම්පත ඊටත් වඩා වැදගත් වන බව තමා පෞද්ගලිකවම විශ්වාස කරන්නේ යැයි ද ඇමතිවරයා පැවසී ය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මමත්, සෞඛ්‍ය වෘත්තිකයින් හැටියට ඔබත්, අපි සියල්ලන් එකට එක් වී එක හීනයක් දකිමු යැයි පැවසූ අමාත්‍යවරයා ඒ අනිකක් නොව මෙරට සෑම පුරවැසියෙකුටම, පුරවැසියා මහන්සි නොවි පුරවැසියා වෙනුවෙන් ඔහුට ඇවැසි සේවය ලබාදෙන හොඳම සෞඛ්‍ය සේවයක් මෙරට තුළ ස්ථාපිත කිරීම යැයි ද පැවසී ය. එවිට ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබාදෙන රටක් ලෙස අපට සන්නාමකරණ වීමට හැකියාව ලැබීම අපේ ජයග්‍රහණයක් බවත් ඒ සදහා අප ඇප කැප වී වැඩ කරමු යැයි ද අමාත්‍යවරයා සියල්ලන්ටම ආරාධනාවක් කලේ ය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.