Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, වෙළඳ නෞකා ආරක්‍ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැපයීමේ මෙහෙයුම් කටයුතු (Onboard Security Team – OBST) ස්වාධීනව සිදුකිරීම 2025 ඔක්තෝබර් මස 03 වන දින ආරම්භ කල අතර, ගත වු මාස හතරක (04) කාලය තුල සිදුකල එම මෙහෙයුම් 323ක් මඟින්, ඇමෙරිකානු ඩොලර් 598,250ක විදේශීය විනිමය සෘජුවම උපයා, එම ආදායම ජාතික සුභසිද්ධිය වෙනුවෙන් ලබා දීමට සමත් විය.

ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් සහ දේශීය ආර්ථිකයට ඇති ප්‍රතිලාභ සම්බන්ධයෙන් ඇති ඉහල වගවීම මත 2025 ජුනි මස 18 වැනි දින අමාත්‍ය මණ්ඩල සංදේශයේ සඳහන්වු යෝජනාවක් වන, ස්වාධීනව සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් කටයුතු (Onboard Security Team – OBST) සිදුකිරීම සඳහා නාවික හමුදාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් වූ අමාත්‍ය මණ්ඩල තීරණය 2025 ජුලි මස 07 වන දින අනුමත කෙරිණි.

එමෙන්ම, නාවික හමුදා පනතේ 21 වගන්තියේ (01) වන උප වගන්තිය මඟින් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ජාතික සුභසිද්ධිය සඳහා ඇති අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් නාවික නොවන කාර්යයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවේ සාමාජිකයින්ට වෙළඳ නෞකාවන්ට ආරක්‍ෂක සේවා සපයනු ලබන විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් වෙත සේවා සහ පහසුකම් සැපයීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් ව්‍යාපෘතියක් පවත්වාගෙන යාමට නියම කරමින් ජනාධිපතිවරයා විසින් 2025 අගෝස්තු මස 10 වන දිනැති ජනාධිපති නියමය නිකුත් කර, එම ජනාධිපති නියමය 2025 අගෝස්තු මස 13 වන දිනැති අංක 2449/27 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් පලකරන ලදි.

ඒ අනුව, නාවික හමුදාව විසින් 2025 ඔක්තෝබර් මස 03 වන දින සිට විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්‍ෂක සමාගම් සමඟ ගිවිසුම්ගත වෙමින්, ස්වාධීනව සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද අතර, වර්ථමානයේදි මෙම ව්‍යාපෘතිය වෙතින් ලැබෙන සියලූම ආදායම් ජාතික සුභසිද්ධිය සහ ආර්ථිකය වෙනුවෙන් සෘජුවම එකාබද්ධ අරමුදල වෙත බැර වේ.

තවද, සමුද්‍රීය ආරක්‍ෂක කටයුතු ස්වාධීනව සිදුකිරීම සඳහා අවශ්‍ය භෞතික සහ මානව සම්පත් මේ වනවිටත් ශ්‍රී ලංකා නාවික හමුදාව සතුව පවතින බැවින්, අවම අමතර පිරිවැයකින් සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සේවා සැපයීම පුළුල් කිරීමට නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

පෙර පැවති පුද්ගලික ආයතන හා සම්බන්ධව කරන ලද මෙහෙයුම් ක්‍රමවේදය තුල ඉතා සුළු ආදායමක් ජාතික සුභසිද්ධිය සඳහා ලැබී තිබූ අතර, නව බලාත්මක කිරීම මඟින් සම්පූර්ණ ආදායම විදේශ විනිමය ලෙස ඒකාබද්ධ අරමුදල වෙත බැරවේ.

2009 සැප්තැම්බර් මස 10 වැනි දින වෙළඳ නෞකාවල ආරක්‍ෂාව සපයන සන්නද්ධ ආරක්‍ෂකයින් සඳහා අවශ්‍ය අවි, උණ්ඩ සහ උපාංග ගබඩා කිරීම (සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්) නාවික හමුදාව මුල්වී ආරම්භ කර, කාලීනව ලද උපදෙස් මත මෙම මෙහෙයුම් පුද්ගලික පාර්ශවකරුවන් සමඟ එක්ව සිදුකෙරුණි. එහිදී සේවා සැපයීම වෙනුවෙන් නාවික හමුදාව වෙත ඉතා අඩු ගෙවීමක් දේශීය මුදලින් සිදුකර ඇති අතර, සමස්ථ ආදායමෙන් ඉතා අඩු ප්‍රමාණයක් දේශීය මුදලින් රජය වෙත ලබාදීමට එම පාර්ශවකරුවන් කටයුතු කර ඇත.

ඒ අනුව, 2025 ඔක්තෝබර් මස 03 වන දින සිට 2026 පෙබරවාරි මස 08 වන දින දක්වා සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් 323ක් නාවික හමුදාව විසින් සිදුකර ඇති අතර, එමඟින් ඇමෙරිකානු ඩොලර් 598,250.00 සෘජුවම උපයන ලද විදේශීය විනිමය ආදායම ජාතික සුභසිද්ධිය සහ ආර්ථිකය සඳහා ලබා දීමට මෙලෙස නාවික හමුදාවට හැකියාව ලැබී ඇත.

තවද, නෞකා ආරක්‍ෂක කණ්ඩායම් (Onboard Security Team – OBST) වෙනුවෙන් ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් අවි ගබඩා තුල ගබඩා කිරීම සහ එකී ගිනිඅවි, උණ්ඩ සහ අනෙකුත් උපාංග මෙහෙයුම් අවශ්‍යතා අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්‍ෂණය හා ආරක්‍ෂාව යටතේ විදේශීය පෞද්ගලික ආරක්‍ෂක සමාගම් වල දේශීය නියෝජිතයන් විසින් සපයනු ලබන වාහන හෝ යාත්‍රා උපයෝගී කර ගනිමින් ප්‍රවාහනය කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ සමුද්‍රීය ආරක්‍ෂක මෙහෙයුම් සිදුකරනු ලබන විදේශීය සමුද්‍රීය ආරක්‍ෂක සමාගම්හි දේශීය නියෝජියතයින් ගිවිසුම්ගතවීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මනා සැලසුමකින් සිදුකෙරේ.