Spread the love

දේවින්ද පිණිදිය

හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලේ හෘද කැතීටකරණ ඒකක (Catheterization Laboratory) ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම අද (15) පෙරවරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතා සහ ඔහුගේ බිරිඳ වන නීලමනී පෙරේරා මහත්මිය විසින් සිය මියගිය පුතණුවන්ට පිං පිණිස සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකරදීමට කටයුතු කරනු ලැබේ.

රුපියල් මිලියන 80 ක පමණ වියදමකින් රෝහලේ හෘද රෝග ඒකකය අසල මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමට සැළසුම් කර ඇත.

ඒ අනුව නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය යටතේ මෙම හෘද කැතීටකරණ ඒකක ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල්ගල් තැබීම අද සිදුවු අතර ඇමරිකාවේ පදිංචි බෙනට් පෙරේරා මහතා සහ එම මැතිණිය සූමි තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධ විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙහිදී අදහස් දක්වමින් මෙරට රෝහල් පද්ධතිය තුළ මේ වසරේ කැත් රසායනාගාර 07 සමග ලබන වසර වන විට මෙරට රෝහල් තුළ තැත් රසායනාගාර 14 ක් ස්ථාපිත කරමින් හෘද රෝගී ප්‍රතිකාර ශක්තිමත් කරන බව පැවසීය. මෙම වසරේ කොළඹ ජාතික රෝහලේ හෘද රෝගී ප්‍රතිකාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ වන බවත් 2028 වසරේ එහි ඉදිකිරීම් අවසන් කර හෘද රෝගී ප්‍රතිකාර සේවා ආරම්භ කිරීමට කටයුතු සිදුවන බවත් පැවසීය.