නව පරිවර්තනයක් තුළින් රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේදී දේශීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ ජාතික කාර්යය සඳහා සියලු අංශ එකාබද්ධව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.
ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය සංවිධානය කළ “අපි එක්ව ගොඩනගමු” යන තේමාවෙන් අරලිය ගහ මන්දිරයේ ඊයේ (14) පැවති ගෝලීය ව්‍යවසායකත්ව සතියේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීය,
2025 වසරේ ගෝලීය ව්‍යවසායකත්ව සතිය අද සිට ආරම්භ වෙනවා. එය මෙරට ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනැගීමට සහ ඒ සඳහා අවශය අවස්ථා නිර්මාණය කිරීමට සක්‍රීයව දායකවීමක්. මේ සතිය අපේ ජාතික අරමුණ හා සම්බන්ධයි. නිර්මාණශීලීත්වය, සහයෝගීතාවය සහ නවෝත්පාදනය රටේ ඉදිරි සංවර්ධනයට ඉතා වැදගත්.
අපේ රජයේ දැක්ම අදහස්, අවස්ථා බවට පත්වන, ආයෝජන ආකර්ෂණය කරගන්නා නවෝත්පාදනයන් සහ පුරවැසියන්ට එහි ප්රතිලාභ ලබා ගත හැකි රටක් නිර්මාණය කිරීමයි. ඒ සඳහා ව්‍යවසායකත්ව සංවර්ධනය ඉතා වැදගත් ඒ වගේම ආර්ථික විවිධාංගීකරණය, අපනයන වර්ධනය, තරුණ සවිබල ගැන්වීම සහ සමතුලිත සංවර්ධනය සඳහාද ව්‍යවසායකත්වය අත්‍යවශ්‍ය සාධකයක්.
2024 වසරේ පැවති ශ්‍රී ලංකාවේ ගෝලීය ව්‍යවසායකත්ව සතියේදි දිස්ත්‍රික්ක 25ක් පුරා පැවැති වැඩසටහන් 207කට වැඩි ප්‍රමාණයකට 20,000 කට අධික පිරිසක් සම්බන්ධ කර ගන්න හැකි වුණා.
2024 වර්ෂයේ ගෝලීය නවෝත්පාදන දර්ශකය අනුව, ශ්‍රී ලංකාව පසුවන්නේ 89 වැනි ස්ථානයේ, නවෝත්පාදන ප්‍රතිඵල අතින් සාපේක්ෂව හොඳතත්වයක අපි සිටියත්, යටිතල පහසුකම් සහ ආයෝජන වැනි නවෝත්පාදන යෙදවුම් (innovation inputs) තවමත් දුර්වල මට්ටමක පවතින බව දත්ත සහ තොරතුරු අනුව අපිට පැහැදිලියි.
ගෝලීය ව්‍යවසායකත්ව අධීක්ෂණ (GEM) වාර්තාව (2024/25) අනුව, ලොව පුරා වැඩිහිටියන්ගෙන් 49%ක් ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් වැළකී සිටින්නේ අසාර්ථක වීමේ බිය නිසා කියලා සදහන් වෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ ශක්තිමත් සහයෝගීතා පද්ධතියක් ගොඩනැගීමේ අවශ්‍යතාවය ඉතා වැදගත් කියන කාරණය.
2023 දී වයස අවුරුදු 15-29 අතර තරුණ ජනගහනය දළ වශයෙන් මිලියන 5.1ක් (මුළු ජනගහනයෙන් 23.6%ක්) වීම තුලින් ශ්‍රී ලංකාවට වැදගත් ජන විද්‍යාත්මක වාසියක් අත්වී තිබෙනවා. මේ තරුණ ප්‍රජාවට ඩිජිටල් සාක්ෂරතාව තිබුණත් ප්රාග්ධනයට ප්‍රවේශ වීමේ සීමාවන්, අඩු උපදේශන අවස්ථා සහ අවදානමට ඇති පොදු අකමැත්ත වැනි අභියෝගවලට මුහුණ දීමට සිදුවී ඇති බව අපි අවබෝධ කරගෙන තිබෙනවා.
ඒ නිසා රජය විශේෂයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 30 දෙනෙකුගෙන් යුත් ඩිජිටල් කාර්ය සාධක බලකායක් පිහිටුවලා
සියලුම පාසල් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම සහ ස්මාර්ට් පුවරු, පරිගණක සහ ඩිජිටල් මෙවලම් ලබා දීම, දැනුම වර්ධනය කිරීම ඇතුළු වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරමින් යනවා. ඒවගේම ඩිජිටල් අධ්‍යාපනය සඳහා පූර්ණ ප්‍රතිපත්ති රාමුවක් 2026 මාර්තු වන විට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සූදානම් කරමින් තිබෙනවා.
2026 ජාතික අයවැය මගින් ඩිජිටල් ආර්ථිකය සහ ව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යාම සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් තරුණ හා නැගී එන ව්‍යවසායකයින් සඳහා ආරම්භක අරමුදලක් ලෙස රු. බිලියන 1.5ක් වෙන් කර තිබෙනවා.
කෘත්‍රිම බුද්ධිය (AI) සහ ක්ලවුඩ් පරිගණකකරණ පර්යේෂණ සඳහා ද, ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය (බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර්) සහ ආයෝජන දිරිගැන්වීම් සඳහා ද අමතර ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. රජය ඩිජිටල් ආර්ථික පනතක් සහ නව ඩිජිටල් ආර්ථික අධිකාරියක් මෙන්ම, ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත (SL-UDI) සහ ඒකාබද්ධ ඩිජිටල් ගෙවීම් පද්ධති යෝජනා කර තිබෙන බවත් මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
