දේවින්ද පිණිදිය
මෙම ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය තවත් පුළුල් සහ විධිමත් කිරීමට පියවර ගනිමින් ඉදිරියේ දී ආහාර සාම්පල් පරික්ෂා කිරීමට ද බලාපොරොත්තු වන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත පළාත් පානීය ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) විවෘත කරන ලදි.
රජයේ මුල්‍ය දායකත්වය මත ස්ථාපිත මෙම විද්‍යාගාරය මගින් මධ්‍යම පළාත තුළ ඇති මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා යොමු කෙරෙන ජල සාම්පල පරීක්ෂාවට ලක් කොට ඒවා ජනතා පරිභෝජනයට සුදුසුදැයි පරීක්ෂා කිරීම සිදු කරනු ලබයි.
මෙමගින් ජනතාව පරිභෝජනයට ගන්නා ජලය පිළිබඳව සුරක්ෂිතතාව තහවුරු කරගැනීමට උපකාරයක් වන අතර, ජනතාවගේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමටත් ජලය හරහා පැතිරෙන වසංගත රෝග පාලනයටත් උපකාරී වේ.
මධ්‍යම පළාතට අදාළ ජල සාම්පල පරීක්ෂාව සඳහා ස්ථාපිත කරන ලද මෙම විද්‍යාගාරය මගින් ජනතාව බීමට ගන්නා ජලය පිළිබඳව සුරක්ෂිතතාවය තහවුරු කිරීමට හැකියාව ලැබෙන බව මෙහිදී සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා ද පෙන්වා දෙන ලදී.
බීමට සුදුසු ජලය හදුනා ගැනීමත් එසේ බීමට සුදුසු නොවන බවට හඳුනා ගන්නා ලද ජල පරිශ්‍ර සඳහා සුදුසු පිළියම් යෙදීමත්, ජනතාවට ජලය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් සුරක්ෂිතතාවය ලබාදීමත් මෙහි අරමුණ වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.
මීට ඉහතදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හරහා මධ්‍යම පළාතෙන් ලබාගන්නා ලද ජල සාම්පල අනුරාධපුර සහ බදුල්ල ප්‍රදේශවලට යොමු කරමින් පරික්ෂාවට ලක් කළ බවත්, එහිදී පොරොත්තු ලේඛනවල සිටීමට මෙන්ම වාර්තා වල ප්‍රමාදයක් සිදු වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම නව පානීය ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය මගින් මධ්‍යම පළාතටම ජල සාම්පල සම්බන්ධව පරීක්ෂණ වාර්තා කඩිනමින් ලබා දිය හැකිවීම විශේෂත්වයක් බවද පැවසීය.
සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කරන ලද්දේ මෙම විද්‍යාගාරය ඉදිරියේදී තවත් පුළුල් සහ විධිමත් කිරීමට පියවර ගනිමින් වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් එම පානීය ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය තුළ ආහාර සාම්පල් පරික්ෂා කිරීමේ කටයුතු සිදුකිරීමට ද බලාපොරොත්තු වන බවයි.
මෙම විද්‍යාගාරය ස්ථාපනය කොට ඇති කටුගස්තොට ප්‍රාදේශීය රෝහල තුල සිදු කෙරෙන රෝගී සත්කාර කටයුතුවලට අමතරව අසාධ්‍ය රෝගීන්ගේ නිවෙස් වෙත ගොස් ප්‍රතිකාර සිදු කෙරෙන සහන සත්කාර සේවාව රෝහල් සංවර්ධන කමිටුවේද අධාර ඇතුව ඉතා සාර්ථක මේ වන විට ක්‍රියාත්මක වේ.
මෙම විවෘත කිරීමේ අවස්ථාව සදහා මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සම්පත් ලියනගේ රණවීර, කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරී එම්.ජී.දිමුතු රුවන්, ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරංග ප්‍රනාන්දු, ප්‍රභාත් රණසිංහ, වෛද්‍ය දිලිනි රූපනන්ද යන මහත්ම මහත්මීන් ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
