Spread the love

නිමල් රාජපක්ෂ
ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ලේ සිට නාවික සැතපුම් 95ක් (කිමී 152ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේදී රෝගීව අසාධ්‍ය තත්වයට පත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරිමට නාවික හමුදාව විසින් අද ( 05) අළුයම් කාලයේ කටයුතු කෙරිණි.

ගාල්ල ධීවර වරායෙන් 2025 අගෝස්තු මස 31 වැනි දින ධීවරයින් හය දෙනෙකු (06) සමඟ ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ බහුදින ධීවර යාත්‍රාවක්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින්, ගාල්ල සිට නාවික සැතපුම් 95ක් (කිමී 152ක් පමණ) දුරින් වු ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදී, යාත්‍රාවේ සිටි එක් ධීවරයෙක් රෝගීව අසාධ්‍ය තත්වයට පත්ව ඇත.

එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මුලස්ථානයේ පිහිටි කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත දැනුම් දීමක් සිදුකෙරිණි.

එම දැනුම් දීමට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට, දකුණු නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කෙරිණි. ඒ අනුව,
ඊයේ ( 04) රාත්‍රි කාලයේදී අසාධ්‍ය තත්වයේ සිටි ධීවරයා නාවික හමුදා යාත්‍රාව වෙත ලබාගැනීමෙන් අනතුරුව, මූලික ප්‍රථමාධාර ලබාදී, ගාල්ල වරාය වෙත කඩිනමින් රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා අද අළුයම මෙලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමු කිරීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
තවද, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාව වෙත සහන සැලසීම සඳහා, නාවික හමුදාව නිරත්නතර සුදානමින් සිටියි.