නිමල් රාජපක්ෂ
මාතලේ දිස්ත්‍රික්කයේ මහවෙල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද නව තැපැල් කාර්යාල ගොඩනැගිලි සඳහා මුල්ගල තැබීම මෙම මස 07 වන ඉරිදා පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.
තැපැල් දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරීමට යෝජිත මහවෙල නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 14.41 ක් වන අතර දොඩම්ගස්ලන්දට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සඳහා වැයකිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 14 කි.
වත්මන් මහවෙල තැපැල් කාර්යාලය මේ වන විට කුලී පදනම මත ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මෙන් ම පවතින ප්‍රායෝගික ගැටළු කිහිපයක් හේතුවෙන් නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත්, එමෙන් ම දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ අවශ්‍යතා පරිදි නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම නව තැපැල් කාර්යාල ස්ථාපිත කිරීමෙන් පසු මහවෙල සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයන් හි ජනතාවට විධිමත්, කාර්යක්ෂම තැපැල් සේවාවක් ලබා ගැනීමට හැකිවනු ඇත.එමෙන් ම එය සමස්ත තැපැල් සේවාවට මහගු පිටුවහලක් ද වනු ඇත.
වත්මන් රජය මෙවර අයවැයෙන් තැපැල් දෙපාර්තුමේන්තුවේ නව ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 600 ක මුදලක් වෙන්කර ඇත.
නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි දැක්ම වන අතර මෙරට ක්‍රියාත්මක තැපැල් සේවාවට වසර 200 අධික ඉතිහාසයක් පවතී.
