Spread the love

නිමල් රාජපක්ෂ

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ශිෂ්‍ය සංගම් විසින් අවධාරණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා කමිටුවක් පත් කරන ලෙසත්, ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා ශිෂ්‍ය සංගම්වල අදහස් ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසුවාය.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙහිදී විශ්වවිද්‍යාල  තුළ මුහුණ දෙන  ගැටලු පිළිබඳ  කරුණු පැහැදිළි කළේය.

විශ්වවිද්‍යාල  ශිෂ්‍යයන්ගේ නිදහස කිසිසේත් සීමා කිරීමක් සිදු නොකරන බවත්,  ඉදිරියේදී ඒ පිළිබඳ  උපකලපතිවරුන් සමඟ සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

වෛද්‍ය උපාධිය ලැබූ උපාධිධාරීන් සඳහා සීමා වාසික පුහුණුව ලබා දීමේ ප්‍රමාදයට හේතුව නේවාසික ගැටලුව බවත් ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරන අතර සීමාවාසික පුහුණුව ලබා දීම තවදුරටත් වැඩි කිරීම සඳහා රෝහල් පහක් සඳහා අනුමැතිය ඉල්ලා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්නේය. 

වයඹ, කුරුණැගල, කුලියාපිටිය, සබරගමුව, මොරටුව ඇතුළු විශ්ව විද්‍යාලවල  නේවාසික ගැටලු විසඳීම සඳහා නව නේවාසිකාගාර ඉදිකිරීම සඳහා මේවන විට මුදල් වෙන් කර ඇති අතර ඉඩම් පැවරීමේ කටයුතු සිදු කළ වහාම නේවාසිකාගාර ඉදිකිරීම් ආරම්භ කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් මෙහිදී අවධාරණය කළේය. කුරුණෑගල සහ කුලියාපිටිය පිඨවල පුහුණුව සඳහා යන වෛද්‍ය උපාධිධාරීන් මුහුණ දෙන ප්‍රවාහන ගැටලුවට විසඳුමක ලෙස ලංකා ගමනාගමන මණ්ඩලය සමග සාකච්ඡා කර ඉදිරියේදී විසඳුමක ලබාදීම කෙරහිද මෙහිදී අවධානය යොමු කෙරිණ.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් නිලධාරීන් සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු නවෝද්‍ය මාරසිංහ  ඇතුළු සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.