Spread the love

කුවේට් රාජ්‍යයේ 65 වන ජාතික දිනය සහ 35 වන නිදහස් දින සංවත්සරය වෙනුවෙන් වු සැමරුම් උත්සවයක් පසුගිය (09) දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැත්විණි.

එම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයෙකු ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්විය.

මෙහිදී පැවැති උත්සව සභාව අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කුවෙට් ජනතාව වෙත ලාංකිකයින් වෙනුවෙන් සුබ පැතුම් එක් කරන ලදී.

1971 පෙබරවාරි 19 වන දින ශ්‍රී ලංකාව සහ කුවේට් රාජ්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා එතැන් සිට වසර 55 ක් පුරාවට දෙරට අතර විශ්වාසය, ගෞරවය සහ සහයෝගීතාවය ශක්තිමත්ව පවතින බව ද අවධාරණය කරන ලදී.

මෙම දිගුකාලීන මිත්‍රත්වය දෙරටේ සබඳතාවල ශක්තිය පිළිබිඹු කරන බවත්, ඉදිරි වසරවලදී මෙම සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අද වන විට ශ්‍රී ලාංකිකයෝ 167,000 ක් පමණ කුවේට්හි ජීවත් වෙමින් සේවය කරන බව ද රැකියා අවස්ථා ලබා දීම සහ ශ්‍රී ලාංකික සේවකයින්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කුවේට් රජයට ස්තුතිය පල කිරීමට මේ මොහොත අවස්ථාවක් කරගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.

2025 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය සඳහා කුවෙට් රාජ්‍යයෙන් විශාල දායකත්වයක් ලැබී තිබෙන බවත් එරට පුරවැසියන්ට තවදුරටත් ශ්‍රී ලංකාවට පැමිණ අපගේ සංස්කෘතිය, උරුමය ආගන්තුක සත්කාරය අත්විඳින්නැයි ආරාධනා කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය, කොළඹ වරාය නගරයේ ආයෝජන අවස්ථා සහ සෞඛ්‍ය සේවා, තොරතුරු තාක්ෂණ සහ ඉංජිනේරු ක්ෂේත්‍රයේ ශ්‍රම හුවමාරුව ආදි නව ක්ෂේත්‍ර ඔස්සේ කුවෙට් ශ්‍රී ලංකා සබදතා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීමි.

මෙහිදී දෙරට අතර සමරු සහිවටන හුවමාරු කර ගැනීම ද සිදුවිය.