නිමල් රාජපක්ෂ
නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ විසිනව වැනි (29) සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කල නිලධාරීන් තිදෙනෙකු (03) සහ නාවිකයන් තිස්හතර දෙනෙකු (34) වෙත ලාංඡන පැළඳවීමේ උත්සවය, ඊයේ ( 06) පුත්තලම, ගඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී , ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණයේ අණදෙන නිලධාරී කපිතාන් සුදේෂ් චින්තක හා වයඹ නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් වරුණ ෆර්ඩිනැන්ඩස් ගේ ආරාධනයෙන්, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි.
මාස හයක (06) කාල සීමාවක් පැවති මෙම පුහුණු පාඨමාලව තුළදී කුඩා යාත්‍රා මෙහෙයුම් කටයුතු පිළිබඳව සහ හදිසි හා ස්වභාවික ආපදා තත්වයන්හි දී ආපදාවට පත්වන පිරිස් ඉන් මුදවා ගැනීම හා ඔවුන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කර අවශ්‍ය සහන සැලසීමේ මෙහෙයුම් සඳහා මනා ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබා දීම සිදු කෙරිණි.
ලාංඡන පැළඳවීමේ උත්සවයේදී, පුහුණු කාල සීමාව තුළ සුවිශේෂී කුසලතා දැක්වූවන් සඳහා විශේෂ සම්මාන පිරිනැමීම, නාවික හමුදාධිපති විසින් සිදු කෙරිණි. ඒ අනුව, දක්ෂතම ජීවිතාරක්ෂකයා ලෙස ලුතිනන් ඒජේඑම්ඩීපී අබේකෝන් සහ දක්ෂතම යාත්‍රා හසුරවන්නා ලෙස ලුතිනන් ටීපීජීටීඒ ගුණසේකර විසින් සම්මාන හිමි කර ගන්නා ලද අතර, විශිෂ්ඨතම පුහුණුවන්නා ලෙස බල නැවි පීජීඩී සම්පත් සහ හොඳම ශාරීරික යෝග්‍යවත් පුහුණුවන්නා ලෙස සාමාන්‍ය නැවි එස්ජේඑම්එස්ඩී සමරකෝන් විසින් සම්මාන හිමි කර ගන්නා ලදි.
මෙම ලාංඡන පැළඳවීමේ උත්සවයට සමඟාමීව, සිය පුහුණු වීමෙන් ලද පන්නරය විදහා දක්වමින් 29 වැනි සුදුසුකම් ලැබීමේ පාඨමාලාවට අයත් නාවික පුද්ගලයින් විසින් කුඩා යාත්‍රා උපයෝගී කරගනිමින් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකිරීමේ සහ ආපදා සහන මෙහෙයුම් පිළිබඳ ප්‍රදර්ශනාත්මක අභ්‍යාසයන් සිදුකරන ලද අතර, ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානයක්ද එක් විය.
පුහුණුව අවසන් කල නාවික හමුදා පුද්ගලයින් ඇමතූ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ, ස්වකැමැත්තෙන් හා අධිෂ්ඨානශීලීව අභියෝගාත්මක පුහුණුවක් සාර්ථකව සම්පූර්ණ කල නාවික පුද්ගලයින් වෙත සිය සුභාශිංසන පිරිනැමීමට කටයුතු කෙරිණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාවික හමුදාධිපති, ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය අතීතයේදී මාතෘ භූමියේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ අභීත නාවික පුද්ගලයන්ගෙන් සමන්විත වූ බවත්, එම වීරෝධාර නාවික පුද්ගලයන් ඉතාමත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරනු ලබන බවත් පවසන ලදී.
