Spread the love

නිමල් රාජපක්ෂ


2026, ජනවාරි 28, කොළඹ – ස්වභාවික පරිසරයේ වටිනාකම් හා වැදගත්කම වෙනුවෙන් සිය කැපවීම ප්‍රදර්ශනය කරනු ලබන විශිෂ්ට නිර්මාණය අගයමින් නව සම්මානයක් තිළිණ කිරීමට ජෙෆ්රි බාවා භාරය සහ එහි හවුල්කරුවන් කටයුතු යොදා ඇත. එම නව සම්මානය දියත් කිරීම පසුගියදා කොළඹදී සිදු විය.
ජෙෆ්රි බාවා මූණමල් සම්මානය ලෙස නම් කර ඇති මෙම සම්මානය මානව බලපෑම අවම කරන හා සියලු ජීවී හා පාරිසරික සබඳතා මනාව ආරක්ෂා කරමින් පරිසරයේ යහපැවැත්ම පෝෂණය කරන ව්‍යාපෘති සඳහා පිරිනැමීමට මෙහිදී කටයුතු කරනු ඇත. ඒ ආකාරයේ සුවිශේෂී ව්‍යාපෘති හඳුනාගනිමින් ශ්‍රී ලාංකේය නිර්මාණකරණයේ නව මානයන් විවර කිරීමට ජෙෆ්රි බාවා භාරය මේ තුලින් බලාපොරොත්තු වේ.

සම්මානය නම් කිරීමේදී ද පාරිසරික වැදගත්කම හා සුවිශේෂීත්වය පිළිබඳ අවධානය යොමු කර ඇති ජෙෆ්රි බාවා පදනම ඒ සඳහා බෙන්තොට ජෙෆ්රි බාවා උද්‍යානයේ ලුණුගඟ හි පිහිටා ඇති ‘මූණ මල්’ ගසෙහි නම යොදා ගෙන ඇත. ස්වභාවික පරිසරයේ උරුමයක් ලෙස පිළිගැනෙන මූණමල් ගස යනු මානව අවශ්‍යතා සමබර කරමින් ඔවුන්ගේ සුවිශේෂී නිර්මාණ සඳහා යොදා ගනු ලබන දේශීය දැව වර්ගයකි. මූණමල් ශාකය පාරිසරික වශයෙන්ද ඉතා වැදගත් ශාකයක් ලෙස පිළිගනු ලබන අතර එම වැදගත්කම නිසාම මෙම නාමය සම්මානය සඳහා යොදා ගැනීමට ජෙෆ්රි බාවා භාරය කටයුතු කර ඇත.
සමකාලීන ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටත්වය වෙනුවෙන් ජෙෆ්රි බාවා සම්මානය පිරිනැමීමේ අවස්ථා 5කට පසුව ජෙෆ්රි බාවා භාරය සහ එහි හවුල්කරුවන් විසින් නිර්මාණශීලීත්වය, උද්භිද විද්‍යාව හා පරිසරය සමඟ ඉහළ යමින් පවතින ආකර්ෂණය මූලික කර ගනිමින් මෙම සම්මානය පිරිනැමීමට පියවර ගෙන ඇත. මේ සඳහා වනජීවී හා සොබාදම් ආරක්ෂණ සංගමය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතනික හවුල්කරුවන් සමඟ එක් වෙමින් මෙම සම්මානය හා පාරිසරික සබඳතාව පිළිබඳ කතිකාවතක් ගොඩනැගීමටද ජෙෆ්රි බාවා භාරය කටයුතු කරමින් සිටියි.
නිර්මාණයන්හිදී බොහෝ විට ප්‍රමුඛත්වය දෙනු ලබන්නේ මානව අවශ්‍යතා සහ ඔවුන්ගේ සුවපහසුව වෙනුවෙනි. එසේ වීමේදී පරිසරයට සිදු වන හානිය ඉතා විශාලය. පරිසරයට හා ස්වභාවික අලංකාරයට හානියක් නොවන අයුරින් නිර්මාණකරණයේ යෙදීම තුලින් පරිසරය හා මිනිසා අතර පවතින සබඳතාව තව දුරටත් වර්ධනය කර ගැනීමට අවකාශ උදා වේ. එය ස්වභාවික ආපදා අවම කර ගැනීමට මහත් බලපෑමක් සිදු කරන අතරම ස්වභාවික පරිසරය සතු හැකියාවන්ද ඉහළ යාමට හේතුවක් වනු නිසැකය. එසේ හෙයින් මිනිසා විසින් පරිසරයට සිදු කරන හානිය අවම කිරීම සඳහා නිර්මාණකරුවන් දිරිමත් කිරීමට මෙම සම්මානය තුලින් හැකි වනු ඇත.

වීඩියෝව නරඹන්න

මෙහිදී අදාල සම්මාන ක්‍රියාවලිය පිළිබඳව විශේෂ මෙහෙයුම් කමිටුවක් මඟින් අධීක්ෂණය කිරීමට නියමිතය. එම මෙහෙයුම් කමිටුවට ආර්ථික විද්‍යාඥයකු හා Centre for a Smart Future හි අධ්‍යක්ෂවරයා වන අනුෂ්ක විජේසිංහ, ජෆ්රි බාවා සහ ලුණුගඟ භාරයේ සභාපති චන්න දාස්වත්ත, ජෙෆ්රි බාවා සහ ලුණුගඟ භාරයේ ජීවී එකතුවේ භාරකාර සොහාම් කකර්, පරිසරවේදී හා ඉඩම් සහ සොබා දහම සංරක්ෂණ කිරීමේ ආයතනයේ (PLANT) සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න සහ පාරිසරික සංවිධාන සම්මේලනයේ (FEOSL) නිර්මාතෘ සහ පාරිසරික ගෘහ නිර්මාණ ශිල්පිනී සුනෙලා ජයවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ.
සම්මානය පිළිබඳව වැඩි විස්තර දැන ගැනීමට geoffreybawa.com/awards වෙත පිවිසෙන්න.