Spread the love


ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ සඳහා පරිසර ලේබල් කිරීම (Ecolabel) හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ තිරසාර වෙළඳාම දියුණු කිරීම පිළිබඳව ඉහළ මට්ටමේ විධායක නිලධාරීන්ගේ සමුළුවක් පසුගියදා (11 දා) කොළඹ NH Collection හෝටලේදී පැවැත්විණ.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය හා ජපානයේ ඉකෝ මාක් (Eco Mark) ආයතනයේ සහාය ඇතිව ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සංවිධානය කළ මෙම සමුළුව මගින් ශ්‍රී ලංකාවේ සිල්ලර වෙළඳ ක්ෂේත්‍රය තුළ පාරිසරික වගකීමෙන් යුත් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම, සම්පත් කාර්යක්ෂමතාව සහ පාරිසරික කාර්ය සාධන උදෙසා උසස් ප්‍රමිතින් ස්ථාපිත කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලදී.
2018 වසරේදී ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික පාරිසරික ලේබල් කිරීමේ වැඩසටහන වන Ecolable Sri Lanka වැඩසටහන ආරම්භ කර ඇත. මෙම වැඩසටහන ශ්‍රී ලංකා ප්‍රතීතන මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර ගෝලීය පාරිසරික ලේබල් කිරීමේ ජාලය (GEN) තුළ පූර්ණ සාමාජිකත්වය ලබාගෙන තිබෙයි. මෙම Ecolable Sri Lanka වැඩසටහන ජපානයේ ඉකෝ මාක් (Eco Mark) ආයතනය හා ජපාන පාරිසරික අමාත්‍යාංශයේ තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකාවේ සුපිරි වෙළඳසැල් හා සාප්පු සංකීර්ණ (shopping mall ) දක්වා ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇත.


ලංකාවේ සිල්ලර වෙළඳාම තුල තිරසාර භාවය හා පාරිසරික වගකීම ඉදිරියට ගෙනයාමේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් ජපානේ ඉකෝ මාක් ආයතනය හා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය තාක්ෂණික සහයෝගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමකට එළඹීමද මෙහිදී සිදුවිය.

මෙම සමුළුව සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, ප්‍රධාන විධායක නිලධාරී සමන්ත කුමාරසේන, මෙහෙයුම් කළමනාකරු රුවන් විජයමාන්න, ජපානයේ ඉකෝ මාර්ක් කාර්යාලයේ සාමාන්‍යාධිකාරී ටකාෂි ෆුජිසාකි, ජපානයේ ඉකෝ මාර්ක් කාර්යාලයේ කළමනාකාකරු හිරෝයුකි කොබයාෂි, ජපානයේ පරිසර අමාත්‍යාංශයේ රියුහෙයි ටකෙමොටෝ, ජපාන විද්‍යාඥයින්, සාප්පු සංකීර්ණ හා සුපිරි වෙළඳසැල්වල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.