Spread the love

අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්. කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක් ලෙසයි’ යයි අධිකරණ අමාත්‍ය නීතිඥ හෂණ නානායක්කාර මහතා පවසයි

අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රාජ්‍ය භාෂා සතිය අවසානයේ පැවති සමාප්ති උළෙලට (07) දිනයේ සහභාගී වෙමිනි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංයේ උපදෙස් පරිදි රාජ්‍ය භාෂා සතිය 2025.07.01 දිනෙන් ආරම්භ වූ අතර ඒ යටතේ සංවිධානය කර තිබූ වැඩසටහන් රැසක් අවසන් කරමින් එහි සමාප්ති උත්සවය (2024.07.07) දින ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ගරු අධීකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර සහ ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆෙර් යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී උත්කශවත් අයුරින් පැවැත්වුණි.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් ගරු අමාත්‍යතුමා මෙසේ සඳහන් කළේය.

රාජ්‍ය භාෂා සතියේ සමාප්තිය සමරන අද දිනයේදී, අපි රැස්වන්නේ දින දර්ශනයේ දිනයක් සලකුණු කිරීමට පමණක් නොවේ. ජාතියේ සියලුම ජන කොටස් සඳහා සමානාත්මතාවය, ගෞරවය සහ යුක්තිය සඳහා අපගේ නොසැලෙන කැපවීම තහවුරු කිරීමටයි.

භාෂාව තාක්ෂණික කාරණයක් නොවන බව මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම සන්නිවේදන මාධ්‍යයකට වඩා වැඩි තේරුමක් භාෂාව මගින් නිරූපනය වෙනවා. භාෂාව කියන්නේ පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ හදවතයි. ඒ වගේම මතකයේ හඩයි. ගෞරවයේ රිද්මයයි. චින්තනයේ ගෘහ නිර්මාණ ශිල්පයයි. අපගේ රට දිහා බැලුවම යුක්තිය, සංහිඳියාව සහ රාජ්‍යයේ සුජාතභාවයේ ලිට්මස් පරීක්ෂාව විදිහටත් භාෂාව හඳුන්වන්න පුළුවන්.

භාෂාව ගැඹුරු චිත්තවේගීය කාරණාවක්. කෙනෙකුට තමන්ට සමීපතම භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ ඇසීමට ඇති අවස්ථා නැති නම් එයින් හැඟවෙන්නේ එම සමාජයේ මනුෂ්‍යත්වය ප්‍රතික්ෂේප කිරීමක්. යටිතල පහසුකම් ලබා දීමෙන් හෝ සටන් පාඨ හරහා පමණක් ජාතික ඒකාබද්ධතාවය සාක්ෂාත් කරගතනොහැකි වන්නේ මේ නිසයි. ජාතීන් අතර සංහිඳියාව ඇති වන්නේ භාෂා ප්‍රතිපත්ති, භාවිතයන් බවට පත්කිරීමෙනුයි.

අපගේ ඉතිහාසය දිහා හැරිලා බැලුවම, භාෂා අයිතිවාසිකම්වලට ගරු කිරීමට අපොහොසත් වීම කුඩා වැරැද්දක් නොවන බව අප කිසි විටෙකත් අමතක නොකළ යුතුයි. එය විශාල අසාධාරණයක් ඇති කළා පමණක් නොවෙයි ජාතීන් අතර අවිශ්වාසය, අසමගිය සහ අවසානයේ ආයුධ සන්නද්ධ ගැටුමකට පවා දායක වූ සංසිද්ධියක් වුණා. මේ පාඩම හරියට ඉගෙන ගත්තේ නැත්නම් ඉතිහාසය පුනරාර්වර්තනය වීම අනිවාර්යයයි. ඒ නිසා එය අප නැවත නොකළ යුතු උගත් පාඩමක් විදිහට සැබෑ ගැඹුරකින් වටහාගෙන කටයුතු කළ යුතුයි. මේ අර්ථයෙන් භාෂාව සාමය සඳහා වූ සිතුවිල්ලක් පමණක් නෙවෙයි සාමයේ පදනම භාෂාවයි.